මම මොනවා හරි දේකට වැරදිකාරයෙක් කියලා පක්ෂය හෝ උසාවිය හෝ තිරණය කළොත් කැලණිය පමණක් නොවේ දේශපාලනයෙන් ද සමුගන්නවා. එහෙම නැතිව අහිකුණ්ටික චරිත රඟපාන දේශපාලනඥයන් වගේ තවත් කිසිම ආසනයකට යන්නේ නැහැ යැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය. කැලණිය ශ්‍රී උප්පලවර්ණ විෂ්ණු දේවාල පිවිසුම් දොරටුවේ මකර තොරණට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ කීය. ඔහු මෙසේ ද කීය. මම හදාගත්ත දරුවා කාටවත් බාර දෙන්න මම ලෑස්ති නැහැ. විනය කඩකිරීමක්, අල්ලස් අරගෙන පක්ෂයට දෝහිවෙලා, මිනීමැරුවකට සම්බන්ධ වෙලා වගේ කාරණයකට මම වැරදිකාරයා කියලා පක්ෂය හෝ උසාවිය තිරණය කළොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

