බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයෙක් චීන මහජන සමුහාණ්ඩුව වෙත කැටුව ගිය විශාලතම වාණිජ නියෝජිත කණ්ඩායමක් සමඟ මේ දිනවල අගමැති ඩේවිඩ් කැමරන් බේජින් නුවර වෙත පැමිණ සිටී. ඔහුගේ කණ්ඩායමට බ්‍රිතාන්‍යයේ ප්‍රධානපෙලේ ප්‍රභල වෙළඳ සමාගම් නියෝජනයකරන 131 දෙනෙකුගෙන් යුතු විශේෂ නියෝජිත පිරිසක් ඇතුලත්වෙති.
ඔවුහු මහා පරිමාණයේ ජාත්‍යන්තර මුල්‍ය පරිපාලනයේ සිට සෞඛ්‍ය සේවා සැපයීම දක්වා විශාල ප්‍රමාණයකට අයත් සමාගම් නියෝජනය කරති.
මේ ගමනේ අරමුණ චීනය සමඟ දීර්ග කාලීන වෙළඳ සහයෝගිතා වැඩපිළිවෙලක් ආරම්භකර වර්ධනය කරගැනීමත් එතුලින් බ්‍රිතාන්‍යය ලෝක වෙළඳපොලේ ඉහලම ස්ථානයකට රැගෙන යාම බවත අගමැති කැමරන් පවසා ඇත.
මෙම සංචාරයේදී චීනයේ පවතිනවායැයි නිරන්තරයෙන් වාර්තාවී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව චීන නායකයින් සමඟ කතාබස් කරනවාද, එමෙන්ම මේ පිළිබඳව පිළිගත හැකි ක්‍රියාපිලිවෙලක් අනුගමනය නොකළහොත් චීනයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරනවාද කියා පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙසට ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ප්‍රශ්නකර ඇත. මෙම ප්‍රශ්න කිරීම් සඳහා පසුබිම සකස්වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකා සංචාරයේදී සිදුකල මාධ්‍ය හරඹය බව පැහැදිලි වෙයි.
මේ සම්බන්ධයෙන් කැමරන් ප්‍රකාශකර ඇත්තේ චීනයේ පවතින මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව සාකච්චාකිරීමට බලාපොරොත්තුවන බවත් තමන්ගේ සංචාරයේ මුලික පරමාර්ථය බ්‍රිතාන්‍යයත් චීනයත් අතර වෙළඳ හෙළදාම් වර්ධනය කරගැනීම බවත්ය.
එසේනමුත් ඔහු පැවැත්වූ සාකච්චාවන්ගේ න්‍යායපත්‍රවල මානව හිමිකම් පිලිබඳ සඳහනක් නොතිබුන බවද මාධ්‍ය වාර්තාවල පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට පැමිණි කැමරන් අගමැතිවරයා සමුළුවේ වැඩකටයුතු මගහැර කලින් සුදානම් කරගෙන පැමිණි න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියා කල බවට චෝදනාවක් එල්ලවිය.
එහිදී තමන්ගේ අණ පිළිපැද්දේ නැත්නම් ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වය ජාත්‍යන්තර උසාවියකට ගෙනයාම සඳහා ක්‍රියාකරන බවට තර්ජනාත්මක ප්‍රකාශයක්ද සිදුකළේය.
චීනයේ සංචාරය සඳහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ඔහුගේ ප්‍රධාන ආණ්ඩුක්‍රම ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කල තරුණ ශ්‍රී ලාංකිකයෙකු වන රොහාන් සිල්වාද සහභාගී වීම විශේෂත්වයකි.