(ඩයනා උදයංගනී)
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු, කටුනායක ගුවන් තොටුපලේ නව පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල යෙදී සිටි ජපාන සමාගමක් වන තායිසේ සංස්ථාවෙන් අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි යැයි ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී තායිසේ සංස්ථාවෙන් නිමල් හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි බව එම කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ජනාධිපතිවරයා විසින් එම වාර්තාවකැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ජපානයේ තායිසේ සමාගමෙන් ඇමතිවරයෙක් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවට එල්ල වී ඇති චෝදනා ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයාගෙන් කර තිබූ ඉල්ලීම අනුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණියේ විශ්‍රාමලත් විශේෂ ශ්‍රේණියේ නිලධාරී එස්.එම්.ජී.කේ පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබිණි.

