කාක්කන්ට අහුවෙන්න එපා


මින් මාස එකහමාරකට පමණ පෙර ඉතාලියේ නාපෝලි නුවරදී අධිවේගී මාර්ගයක රිය අනතුරකින් මිය ගිය සුරංග ප්‍රසාද් හෙට්ටිආරච්චිට ලැබීමට නියමිත රක්ෂණ වන්දිය සම්බන්ධ කටයුතු රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මගින් කර ගැනීම සුදුසු බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ඔහුගේ පියා වන දුම්මලසූරිය ලලිත් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් දුන්නේය.

විදේශ ලේකම් මෙම උපදෙස් දෙනුයේ එම රක්ෂණ වන්දිය ලබා දීමට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික තැරැව්කරුවන් කීප දෙනකුම පියාගෙන් ඒ සඳහා බලය පැවරෙන ලියැවිලි ඉල්ලා සිටීම නිසා බව දැනගන්නට ඇත.

එක් තැරැව්කරුවකු පියාට කියා ඇත්තේ ලැබීමට ඇති මුදල රුපියල් ලක්ෂ 10ක් බවයි.

එහෙත් නඩුව අවසන් වීමටත් පෙර ගණන තීරණය කළේ කවුදැයි පියා ඔහුගෙන් අසා ඇත.

මෙවැනි අයට අසු නොවන ලෙසත්, විදේශ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ගුණතිලක මහත්මිය හමුවී අවශ්‍ය ලියැවිලි ඉදිරිපත් කිරීමෙන් සතයක්වත් නොඅඩුව රක්ෂණ වන්දිය ලබා ගත හැකි බව විදේශ ලේකම් කියයි.