ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට


සමහර ක්ෂණික තේ පැකට්ටු වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයට නිදහස් වන බව පර්යේෂණයකින් හෙළිවී ඇත.
 
කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් මේ බව සොයාගෙන ඇති අතර ඔවුන් පවසන්නේ මිල අධික ප්ලාස්ටික් තේ පැකට්ටු මගින් මෙසේ අධි මාත්‍රා වලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලයට නිදහස් වන බවයි.
 
පර්යේෂණයට බඳුන් කළ තේ පැකට්ටු වලින් බොහොමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබුණු බව ද පර්යේෂකයෝ පවසති.
 
නටන වතුරට දැමූ එවැනි එක් ප්ලාස්ටික් බෑගයකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් බිලියන 11.6ක් ද ඊට වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් කොටස් බිලියන 3.1ක් ද නිදහස් වී තිබූ බව ඔවුන්ට දක්නට ලැබී ඇත. 
 
මේවා කිසිසේත්ම පියවි ඇසට නොපෙනෙන කොටස් වන අතර මෙම ප්‍රමාණයන් සම්බන්ධව තමන් පුදුමයට පත්වූ බවද පර්යේෂකයෝ පවසති.
 
සමහර ආහාරවල, බෝතල් කළ ජලයේ සහ ටැප් වතුරේ ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් බොහෝ සෙයින් හමුවන බව ඔවුහු සඳහන් කරති.
 
තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් යොදා ගැනීම අවශ්‍ය නොවද බවද පර්යේෂකයන් අවධාරණය කර ඇත.
 
(බීබීසි ඇසුරිණි - 085)