කලාපීය වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානය චෙන්නායි නුවරින් ශ්‍රී ලංකාවට ගෙන එයි


ලෝක වොලිබෝල් සම්මේලන (2012-16) නිලවරණයේදී සිය ජයග‍්‍රහණයට දායකවීම අගය කරමින් එහි නව සභාපති බ‍්‍රසිල ජාතික ආචාර්ය ආරියා ගායා මහතා ජාත්‍යන්තර කලාපීය වොලිබෝල් පුහුණු මාධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර තිබේ. මෙවන් පුහුණු මධ්‍යස්ථානයක් 1982 සිට 1996 දක්වා ශ්‍රී ලංකාවේදී කි‍්‍රයාත්මක විය. දැනට ”චෙන්නායි” නුවර ස්ථාපිත කර තිබෙන ලෝක සම්මේලන කලාපීය වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානය එහිදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට තීරණය වී ඇතැයි ද ඒ සඳහා ඉන්දියාවේද කැමැත්ත පළවී ඇතැයි ද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන  හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. ඇමැති ඩිලාන් පෙරේරා, වොලිබෝල්  සම්මේලනය ලේකම් සුසිල් රණසිංහ හා එහි භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ යන මහත්වරු මෙවර ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ කැන්හම් නගරයේ පැවැති ලෝක වොලිබෝල් සම්මේලනයේ නිලවරනය හා මහ සමුළුවට සහභාගි වූහ. එහි විශේෂත්වය  වූයේ ලෝක වොලිබෝල් සමුළු  ඉතිහාසයේ පළමු වතාවට නිලවරණයේදී සභාපතිධුරය සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමයි. ඊට හේතු වූයේ සභාපතිධුරය සඳහා අපේක්‍ෂකයන් එක් අයකුට වැඩිය නාම යෝජනා ඉදිරිපත් කිරීමය. එහිදී සාමාජික රටවල් 220න් 206ක් නිලවරණයට සහභාගි වී සිටින අතර ඇමරිකාවෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා පරාජයට පත් කරමින් ආචාර්ය ගාසා මහතා ලෝක වොලිබෝල්  සම්මේලනයේ මුල් පුටුවට පත්විය. ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ එළඹෙන ඔලිම්පික් උළෙලේ සත්කාරක  රාජ්‍යය බවට පත්ව තිබීමත් බහුතර රටවල් ගණනකගේ  සහයෝගය ඒ වනවිටත් පළවී තිබීම නිසා බ‍්‍රසීලයට නිලවරණයේදී සහයෝගය දැක්වීම ශ්‍රී ලංකාව තීරණය කළ බවයි. ශ්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීමට යෝජනා වී තිබෙන කලාපීය වොලිබෝල් පුහුණු මධ්‍යස්ථාන 16ක් ලොව පුරා කි‍්‍රයාත්මක වන අතර මධ්‍යම ආසියානු කලාපයේ රටවල් 16ක්  වෙනුවෙන් වෙන්කළ පුහුණු මධ්‍යස්ථානය මේ වනවිට ”චෙන්නායි” නුවර කි‍්‍රයාත්මක වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ  ලේකම් සුසිල් රණසිංහ මහතා පවසයි.