කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු විමසයි


ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් දුන් තොරතුරු පරස්පර බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසූ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වෙයි.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරණ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ස්විට්සර්ලන්තයේ බර්න් නුවරට පැමිණි අවස්ථාවේදී එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් පැච්කාල් බේරිස්විල් මහත්මිය විසින් පිළිගනු ලැබු බවද එහිදී ඇය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති නිවේදනයට තානාපතිවරයාගේ අවධානය යොමු කරවමින් එහි සඳහන් වන අන්දමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් දුන් පරස්පර තොරතුරු මොනවාදැයි ඔහුගෙන් ප්‍රශ්න කළ බවද ස්විට්සර්ලන්ත ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වේ.

තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ සිද්ධිය සම්බ්නධයෙන් කෙරෙන විමර්ශනවලට ස්විට්සර්ලන්ත රජය පුර්ණ සහයෝගය දෙන බවත් නියමිත නීත්‍යානුකුල ක්‍රියාවලිය මගින් මෙම සිදුවීම සමථයකට පත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් පැස්කාල් බේරිස්විල් මහත්මිය එහිදී සඳහන් කර ඇත.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තවමත් ඇගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය (විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව) රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත් බවත් සිදුවීම සම්බන්දයෙන් ඉක්මන් සහ පූර්ණ පරීක්ෂණයක් කරන්නැයි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එහි දැක්වේ.

අදාළ නීත්‍යානුකුල ක්‍රියාමාර්ග මගින් මෙම සිදුවීම සමථයකට පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය දෙන බවද පැස්කාල් බේරිස්විල් මහත්මිය තානාපතිවරයාට දැනුම් දී තිබේ.

තානාපති නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇගෙන් ප්‍රශ්න කළ නොහැකි බවත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය සියල්ලට වඩා ප්‍රමුඛ බවත් සඳහන් කර ඇති ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා බලධාරීන් කරන විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට ස්විට්සර්ලන්තයට කිසිදු වුවමනාවක් නැති බවද සඳහන් කර ඇත.

එමෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම් දැඩි ලෙස සැලකිල්ලට ගන්නා බවද පැස්කාල් බේරිස්විල් මහත්මිය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර විශ්වාසය ගොඩනැගීම සඳහා පියවර ගැනීමට ස්විට්සර්ලන්තය සූදානම් බවද පැස්කාල් බේරිස්විල් මහත්මිය තානාපති කරුණාසේන හෙට්ට්ආරච්චි මහතාට තවදුරටත් සහතික වී තිබේ.

055