කඩොලාන රැකීමෙන් සිරිලක මුල් තැනට


ලෝකයේ ජීවී පැවැත්මට ඉතා වැදගත් වූ කඩොලාන ශාක පද්ධති ආරක්ෂා කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව මුල් තැනට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාවේ කඩොලාන ආශ්‍රිතව දිවි ගෙවන්නන් එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට දිරිමත් කරමින්, නැවතව වගා කිරීමට හා විකල්ප රැකියා අවස්ථා ලබා දීමටත් කටයුතු කළ ශ්‍රී ලංකා රජය හා රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ක්ෂුද්‍ර ණය පහසුකම් ව්‍යාපෘති පවා හඳුන්වාදෙමින් ඉතා විශිෂ්ඨ අයුරින් කඩොලාන ශාක පද්ධතිය සුරක්ෂිත කැර ඇතැයි ද එම වාර්තා පෙන්වාදෙයි.

පසුගිය සියවසක කාලයේ දී ශ්‍රී ලංකාවේ සමස්ථ කඩොලාන ශාක පද්ධතියෙන් සියයට 76ක් විනාශ වී ගොස් ඇතැයි ද එය ලොව කඩොලාන පාරිසරික පද්ධති විනාශ වී ඇති ප්‍රමාණයට වඩා ඉතා අවම අගයක් ගන්නා බව ද බීබීසී වාර්තාව පෙන්වාදෙයි.

සංරක්ෂකයින් පවසන්නේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂාකිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර එම පරිසර පද්ධතිය ඇති වෙනත් රටවල් ද ආදර්ශයට ගන්නේ නම් ඉතාමත් වැදගත් වන බවයි.

මෙම තීරණය ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ කඩොලාන ආරක්ෂා කිරීම සියළුම රාජ්‍ය ආයතනවල, පුද්ගලික ආයතනවල, රාජ්‍ය නොවන ආයතනවල, පර්යේෂකයන්ගේ සහ සිවිල් සමාජ වල වගකීම සහ අවශ්‍යතාව වන බවයි.