කටුනායක ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් හසුවෙයි


(කටුනායක ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඊයේ (04) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 60,45,35,සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව රේගුව පවසයි .

මොවුන් ඊයේ (04) දින රාත්‍රී 9.35 ට පමණ මුම්බායි බලා පිටත්ව යන 9 ඩබ්ලිව් 252 දරන ජෙට් එයා වේස් ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ඔවුන් රැගෙන ආ ගමන් මලු සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 116 ක් බර මෙම වල්ලපට්ටා තොගය රේගුව විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර, මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජයදේව මහතා විසින් පවත්වා තිබේ.

එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර, මෙම පුද්ගලයින් සිව් දෙනාට රුපියල් ලක්ෂ 7 බැගින් රුපියල් ලක්ෂ 28 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .