ඕස්ට්‍රේලියා ගිය ගුවන් යානයකට අකුණක් වදී


(ටී.කේ.ජී.කපිල)

කටුනායක සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා  අද අලුයම පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයකට අකුණු පහරක් වැදීම හේතුවෙන් යළි  කටුනායකට ගොඩ බැස්සූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . 

එම ගුවන් යානය , විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එහි නියමුවා පියවර ගෙන ඇත. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 606 දරන ගුවන් යානය  අද අලුයම 01.00 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් තිබුණි.

එම ගුවන් යානය එයාර් බස් වර්ගයේ ඒ.- 330 වර්ගයේ පුළුල් බද සහිත ගුවන් යානයක් වන අතර , එහි ගුවන් මගීන් 217 දෙනකු ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 16 දෙනෙක් එහි ගමන් ගනිමින් කළහ.

ඒ වනවිට ප්‍රදේශයේ පැවති අකුණු ගැසීම් සහිත වැසි තත්වය මත මෙම ගුවන් යානයට ද අකුණු පහරක් එල්ල වී ඇත. ඒ සමග ගුවන් ගමන අතහැර ආපසු  විනාඩි 40 කට පසු  යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට ගුවන් නියමුවා පියවර ගත්තේය.

ඉන්පසුව වෙනත් ගුවන් යානයකින් පෙරවරු 06.06 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත් කර යැවූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .

අකුණු පහරට ලක් වූ ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ , ශ්‍රී ලන්කන් ගුවන් අංගයන වෙත යොමු කර තිබේ .