එස්. එල්. පී. එල් - අයි. පී. එල් තරගාවලි හේතුවෙන් දකුණු අපි‍්‍රකා - ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලිය කල්


ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප‍්‍රිකානු පිල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග තුනකට සහභාගි වීමට නියමිතව සිටිය ද එස්. එල්. පී. එල්. සහ අයි. පී. එල්. තරගාවලි නිසා එම ටෙස්ට් තරග තුන 2015 දක්වා කල්දමනු ලැබ ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා-දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (31 වැනිදා) කළ විමසීමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ලබන වසරේ (2013) ටෙස්ට් තරග අටකට සහභාගි වීමට නියමිතව ඇති බවයි. එම වසරේදී ශ්‍රී ලංකා පිල  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරගයකටද, බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් තරග දෙකකට බැගින්ද සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග තුනකටද සහභාගි වීමට නියමිත බවද ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ලබන වසරේ ජනවාරි 3 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගය මේ වසරේ (2012) තරග කාලසටහනට ඇතුළත් තරගාවලියක අවසන් ටෙස්ට් තරගය වන අතර පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග දෙකට ශ්‍රී ලංකා පිල සහභාගි වීමට නියමිතය. ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග දෙක පමණක් අවලංගු කර තිබෙන බවද ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ”ලබන වසරේ ටෙස්ට් තරග සංඛ්‍යාව පිළිබඳව මේ දිනවල ප‍්‍රචාරය වන කරුණුවල සත්‍යතාවක් නෑ” ”ලබන වසරේ ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග වැඩි සංඛ්‍යාවකට සහභාගි වෙනවා. එම රටවල් එකඟ වන ආකාරය අනුව තරග සංඛ්‍යාව තීරණය කර තිබෙනවා” යැයි මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය. ශ්‍රී ලංකා පිල ඔක්තෝබර් මස සිම්බාබ්වේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් බවත් දෙසැම්බර් මස පාකිස්තානය සත්කාරත්වය දරණ තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එම සංචාරයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කිරීමට නියමිත බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. සිම්බාබ්වේ පිල නැවතත් ටෙස්ට් තරග සඳහා අවතීර්ණ වී සිටින නමුත් ඔවුන් කී‍්‍රඩා කර ඇති ටේස්ට් තරග සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවන නිසා ඔවුන්ට ටෙස්ට් ශ්‍රේණිගත සටහනේ ස්ථානයක් හිමිවී නැති අතර ප‍්‍රසාද ලකුණු 1 ක් හෝ ලබාගැනීමට අසමත්ව සිටින බංග්ලාදේශ පිල සිටින්නේ ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ අවසන් ස්ථානයේ හෙවත් 9 වැනි ස්ථානයේය. ප‍්‍රසාද ලකුණු 98 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා පිල ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානයට පත්ව සිටින අතර එස්. එල්. පී. එල්. සහ අයි. පී. එල්. තරගාවලි නිසා කල්දමන ලද ටෙස්ට් තරගාවලියට සහභගි වීමේ සූදානමින් සිටි දකුණු අපි‍්‍රකානු පිල මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නේ ප‍්‍රසාද ලකුණු 120 ක් හිමිකරගනිමිනි.