එජාපයේ මන්ත්‍රීවරු සිරිකොතේදී රැස්වෙති


(නිමල කොඩිතුවක්කු)

පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය  සම්බන්ධයෙන් සමාලෝචනයක් සහ සාකච්ඡා මාලාවක්  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (27) පැවැත්විණි.

සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැඳවමින් ඉදිරියේදි දිගින් දිගටම මෙම සමාලෝචන කටයුතු සිදුකරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ඒ අනුව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(28) පෙරවරුවේ තවත් හමුවක් කැඳවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කරවිම සම්බන්ධයෙන් යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුවූ බවත් ඔහු සඳහන් කළේය. පක්ෂ නායකත්වය සහ විපක්ෂනායකත්වය ඇතුළු තනතුරු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා නොවු බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායන නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ ඉදිරි සතිය තුළ පක්ෂයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති බවයි.

ඒ අනුව  සජිත් පේ‍්‍රමදාස මහතාට පක්ෂ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ලැබිය යුතුයි යන ස්ථාවරයේ තමන් ඇතුළු පිරිසක් සිටින බවත් ඔහු සඳහන් කළේය.