(තිළිණි ද සිල්වා)
දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අද (27 ) දින එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කරන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේ දැක්වේ.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලෙස පත් කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (25) සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය මෙම කරුණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටී.
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුළන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ සිකුරාදා (27) මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

