
( පුෂ්පකුමාර ජයරත්න සහ සම්පත් සෙනෙවිරත්න)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 72 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර මැල්සිරිපුර ප්‍රදේශයේ ඔහුට අයත් වත්තේ වළ දමා තිබියදී සොයා ගත් බව මැල්සිරිපුර පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව සිටින්නේ මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පටි දේවයලාගේ චිත්‍රානන්ද ජයරත්න නමැති අයෙකි.
මියගිය පුද්ගලයා ඇමේරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු වන අතර ඔහු ඇමරිකාවේ කළ රැකියාවෙන් විශ්‍රාම ගෙන පසුගිය 2019 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
රැකියාවෙන් විශ්‍රාම ලබා මෙරටට පැමිණි ඔහු මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගත කර ඇති බවද පදිංචි නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ කටයුතුෙවල සහායට වැල්ලව ප්‍රදේශයේ පුද්ගලෙකු එම නිවසේ නවත්වාගෙන සිටි බවද පොලිස් විමර්ශවලදී අනාවරණය කරගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙරට වෙසෙන තම පවුලේ ඥාතීන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය පළමුවැනිදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මාලඹේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ලොකු අම්මාගේ පුතකු ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
මැල්සිරිපුර නිවසට ගොස් සොයා බැලීමේ දී නිවසේ සේවය කළ පුද්ගලයා පවසා ඇත්තේ නිවසේ හිමිකරු අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමුවැනිදා නිවසින් පිටව ගිය බවය.
එම ප්‍රකාශය පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා එම නිවසට පෙරේදා (23) ගිය අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් සිටින ආකාරය දැක ඇත.
එසේ සියදිවි හානි කරගෙන සිටියේ වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි මිලින්ද නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මේ අනුව කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සෘජු මෙහෙයවීමෙන් ඊයේ දිනයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට පොලිස් නිල සුනඛයකුගේ සහායද ලබාගෙන ඇත
එම සුනඛයාගේ ඉව අනුව ගිය පොලිසියට විශ්‍රාමික විදුලි ඉන්ජිනේරුවා මරා ඔහුගේම වත්තේ වළ දමා තිබියදී සොයාගත් ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.


