උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක්


(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නතර නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම ඉල්ලිම් ලිපියේ මෙසේ ද සඳහන් වේ,

“ 2005 දි යෝජනා වූ උමාඔය සංවර්ධන යෝජනා ක්‍රමය  මගින් හම්බන්තොට පමණක් නොව වැල්ලවාය, හඳපානාගල, බලහරුව, මොණරාගල, තණමල්විල ජනතාවගේ පානිය ජල ගැටළුව මෙන්ම කෘෂීකාර්මික කටයුතු සඳහාත් ප්‍රයෝජනයක් වන හෙයින් මෙම ව්‍යාපෘතිය කලාපයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් හෙයින් ගොවිහු ඉමහත් සතුටට පත්වි සිටියහ . ඒ අනාගත පරපුරට කරන මහා දායාදයක් හෙයිනි.“

“එහෙත් අවාසනාවක මහිමය උමාඔය සංවර්ධන ව්‍යපෘතියෙන් බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට සිදුවන හානිදායක තත්ත්වය මත කෘෂිකාර්මික දිස්ත්‍රික්ක දෙකක ජල අවශ්‍යතාවට පිළියම් ලෙස සිදු කරන ව්‍යාපෘතියක් නතර කිරිම කාලෝචිත පියවරක්දැයි අපි විමසා සිටිමු.සිදුවන හානි අවම කරගෙන ඒ සඳහා විශේෂඥ දැනුම ලබාගෙන සාර්ථක ව්‍යාපෘතියක් ලෙසින් මෙය ඉදිරියට ගෙනගිය හොත් හම්බන්තොට මාගම ගොවියාට පමණක් නොව සමස්ත රටේම ජනතාවට කරන මහඟු දායාදයක් බව අපි විශ්වාස කරන්නෙමු.

කරුණු එසේ හෙයින් ජල ගැටළුවෙන් පරම්පරා කිහිපයක් දැනට පිඩා විඳිමින් සිටින මාගම්පුරයේ අනාගත ගොවි දරුවන් වෙනුවෙන් උමා ඔය සංවර්ධන ව්‍යාපාතිය ජනතා පිඩා අවම කරමින් ක්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිමු.“