උමා ඔය ඉදිකරන ෆරාබ් සමාගම ආධුනිකයි - ඇමති අමරවීර


(ඩයනා උදයංගනී)

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන ඉරානයේ ‘ෆරාබ්’ සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධ අත්දැකීම් නොමැති ඉදිකිරීම් සමාගමක් බව දැනට කර ඇති සොයා බැලීම් වලදී හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති, උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම ඉදිකිරීම් සමාගම උමා ඔය ව්‍යාපෘතිය සඳහා නිර්දේශ කර ඇත්තේ ඉරාන රජය විසින් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් විසින් උමග කැණීමේ දී යොදාගෙන ඇති යන්ත‍්‍ර එම කටයුත්තට නොගැලපෙන ඒවා වීම දැනට මතු වී ඇති ගැටලූවලට හේතුවක් වී ඇතැයි කී අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පර්යේෂණ කර ඇති දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ නිර්දේශ පරිදි එම කටයුත්ත සඳහා ගැලපෙන උපකරණ ජුලි 18 වැනි දා වන විට ගෙන්වීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.