(කේ ඩි දේවපි‍්‍රය)
රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා වන ඩී පී කුමාරගේ මහතා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑම හේතුවෙන් අද (22) දේවාලයේ පුජාව නොපැවැත්විණි. එහෙත් පසුව උදෑසන 6.30 ට පමණ දේවාලය විවෘත කර පූජාව පැවැත්විණි.
‘මම අද උදැසන දේවාලය විවෘත කිරිමට දේවාලයට ගිය අවස්ථාවේ දි දේවාලයේ යතුර තිබුණේ නැහැ. පසුව මම යතුරක් ගෙන දේවාලය විවෘත කරන්න ගියා. ඒ අවස්ථාවේ දි ලාල් කියන කපු මහතා පැමිණ ඔයාට තියෙන අයිතිය මොකක්ද දේවාලයේ අරින්න කියලා බැන්නා. පසුව මම මගේ නිළ නිවසට ආවා’ යැයි බස්නායක නිළමේ ඞී. පී. කුමාරගේ මහතා පැවසීය.
මේ අතර ලාල් කපුමහතා කීවේ මෙවන් කතාවකි.
"අද උදැසන 4.30 පුජාව සඳහා මම දේවාලය අරින්න සොමිපාල ටී රත්නායක කපු මහතා සමඟ ආවා. ඒ එන කොට බස්නායක නිළමේ ඩී.පි. කුමාරගේ මැර පිරිසක් හා ඔහුගේ පුතා පැමිණ බලහත්කාරයෙන් යතුර පැහැරගෙන ගියා."
"ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තමයි කතරගම දේවාලයේ පුජාව පැවැත්නොවුණේ මේක රටට හොඳ නැහැ. බැතිමතුන් පුජාව තැබීමට ගොඩක් ඇවිත් සිටියා. බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්වෙලා හිටියේ" යැයි යනුවෙන් ලාල් කපු මහතා කීවේය.
පැමිණ සිටි බැතිමත්හු බැණ වදිමින් තමන්ගේ පුජාව තැබීමට නොහැකි විම සම්බන්ධයෙන් දෙස් දෙවොල් තැබුහ. පසුව උදැසන 6.30 ට පමණ කපුමහතුන් වෙත බස්නායක නිළමේවරයා විසින් යතුර දීමෙන් අනතුරුව දේවාලය විවෘත කර බැතිමතුන්ගේ පුද පුජා තැබීමට අවස්ථාව උදාවිය.


