උතුරු පළාත් ප්‍රවාහන ඇමැතිට ඇමැතිකමත් නැතිවෙයි


(රොමේෂ් මධුෂංඛ)

ටෙලෝ පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම  නිසා උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර ඇමැති පී.ඩෙනිශ්වරන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ‍්‍රීකාන්ත පැවසුවේය.

ටෙලෝ පක්ෂ ලේකම් වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (20) රාත‍්‍රියේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මේ අනුව  පී.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමඟ ඩෙනිශ්වරන් සතුව පැවති ටෙලෝ පක්ෂයේ අමාත්‍ය ධූරය ඔහුට අහිමිවන අතර, ඩෙනිශ්වරන්ගෙන් පුරප්පාඩු වන තනතුර වෙනුවෙන් ටෙලෝ පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රී වින්දන් කනගරත්නම්  පත් කිරීමට පියවර ගෙන ඇති බවට පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෝ කියා සිටියහ.

ටලෝ පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට පිටුපා ඩෙනිශ්වරන් මහතා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වෙත සහයෝගය පළ කළ බවටයි.

මේ හේතුව නිසා ඉදිරියේදී ඩෙනිශ්වරන් වෙත විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණය ගන්නා තෙක් තාවකාලිකව පළාත් අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවද ටෙලෝ පක්ෂ ලේකම් වරයා වැඩි දුරටත් පැවසුවේය.