(නිමල් ජයරත්න)
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පිට පළාත්වලින් රැගෙන එන දානමාන අහිමිවිම හේතුවෙන් ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඇතුළු සාමණේර හිමිවරුන් විවිධ අසීරුතාවට පත්ව ඇති බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගි භික්ෂූන් වහන්සේලා විසිපස් නමක්ද, සාමණේර භික්ෂුන් වහන්සේලා පනස් නමක් පමණද, ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා විසිනමක් ඇතුළුව සියයකට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව වැඩ වාසය කරන අතර ආසන්න ගම්මානවලින් පැමිණෙන හීල් දානය, දහවල් දානය, ඉඳහිට ලැබෙන අතර පිට පළාත්වලින් පැමිණෙන විශේෂ දාන රැගෙන ඒමට ඉන්ධන පහසුකම් නොමැති බවට එම දායකයන් සඳහන් කර බවද දිඹුලාගල නාහිමියෝ සඳහන් කරති.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලාට ආරාධනය ලැබෙන දානමාන කටයුතුවලට වැඩම කිරීමට විහාරස්ථානයේ තිබෙන කැබ් රථයට ඉන්ධන පහසුකම් නොමැති වීම නිසා එම දානවලට වැඩම කරවීමටද අසීරු වී ඇති බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූහු සඳ හන් කළහ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් ඉල්ලීමක් කර සිටියහ.
ඉන්ධන අර්බුදය දිගටම පැවතුනහොත් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන සියලු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සාමණේර හිමිවරුන්ට දානමාන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වීමට ඉඩකඩ ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.