ඉන්ධන හලේ පාට් දැමූ බැංකු නිලධාරියා ඇතුළු හතරක් රිමාන්ඩ්


(ආනන්ද ඉ ජයකොඩි)

නිට්ටඹුව කලල්පිටිය ඉන්ධන පිරවුම් හල තුළදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ බව කියන  බැංකු නිලධාරියකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු මේ මස 20 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් වරිය ඊයේ 15 නියෝග කළාය.

පුබුදු ප්‍රසන්න, කේ ඒ කලිඳු කුෂාන් ,  මොහොමඩ් ෂාරුක් හා   කුෂාන් සෝමරත්න යන සිව් දෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

පොහෝදා පෙරවරුවේ ඉන්ධන අවසන් වී ඇති බවට එහි සේවකයින් ප්‍රකාශ කළ අවස්ථාවේ පෝලිමේ සිටි බව කියන සැකකරුවන් සිව් දෙනා එය අසත්‍යයක් බව ප්‍රකාශ කරමින් කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කරමින් විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමට උත්සාහ කළ බව කියමින් මොවුන් සිව් දෙනා නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණ.