
(ශාන්ත චන්ද්‍රසිරි)
ඉදිරි වසර හතර තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩ නැගීමට රජය ගෙන යන වැඩපිළිවෙල සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට හැකි විධිමත් සැළැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමටත්, උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළ යුතු බවද හෙතම කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නගර සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අද (10) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පැවැසීය.
එහෙදී තවදුරටත් අදහස් දැක් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා රජය ඇති කරගත් එකඟතාවය මත නැවත රටේ ආර්ථිකය පිළිබඳව නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුම දෙනාට අවස්ථාවක් ලැබුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අවශ්‍යයි.
සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැළැසුම් සකස් කිරීම වැදගත්. විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැළසුම් කළ යුතුයි. නුවරඑළිය නගරයේ වැසි ජලය බැසයාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලීනව ගැටළුවක්ව තිබෙනවා. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි.
නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉඳි කරනවා. ඒ වෙනුවට නිසි සැළැස්මකට අනුව ඉඳි කිරීම් සිදු කිරීමට අවශ්‍යයි. විශාල ගොඩනැගිලි ඉඳි කිරීම හේතුවෙන් නගරය විනාශ වී තිබෙනවා. එය නිව්යෝක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙසම පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතුයි.
ආයෝජකයන්ට හෝ කිසිඳු පාර්ශවයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. පරිසර හිතකාමී සහ සැළැසුම්සහගත සංවර්ධනයක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතුයි. එමෙන්ම මේ කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධිකරණයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්. සාම්ප්‍රාදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙලක් සමග සියලු දෙනා පෙළගැසිය යුතු බවද මෙහෙදී ජනාධිපතිවරයා පැවැසීය.
අමාත්‍යවරුන් වන ජීවන් තොණ්ඩමාන්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, එම්. රාමේෂ්වරන්, වී. රාධාක්‍රිෂ්ණන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහත්වරුන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


