ඉතාලි කෝටිපතියා ආරක්ෂක ලේකම්ට ලියයි
යූරෝ දෙලක්ෂ පනස් දහසක් (රුපියල් හාර කෝටි විසි දෙලක්ෂයක්), රන්බඩු, දියමන්ති හා රොලෙක්ස් ඔරලෝසුව ආදිය ඉතාලියේ තම නිවෙසින් සොරාගෙන ශ්‍රී ලංකාවට ආබව කියන තම සේවකයකු වූ ශ්‍රී ලාංකිකයා සොයා එම මුදල් හා භාණ්ඩ ලබාදෙන ලෙස ඉතාලියේ බ්‍රේසියා නුවර කෝටිපති ව්‍යාපාරිකයකු වන මහාචාර්ය අයිවන් ලෝසියෝ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
සිය නීතිවේදී ජී.ඞී. කුලතිලක මහතා මගින්ද ඔහු මේ ඉල්ලීම කැර ඇත. ඒ අනුව මේ ගැන පරීක්ෂණ පවත්වන ලෙස වයඹ නියෝජ්‍ය පොලිස්පතිට දන්වා ඇත.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා මෙම පරීක්ෂණ සඳහා පත්කර ඇතැයි දැනගන්නට ඇත. කොළඹ ඉතාලි තානාපති කාර්යාලය මගින්ද ඉතාලි ව්‍යාපාරිකයා ආරක්ෂක ලේකම්ට මේ බව දන්වා ඇත.
දියමන්ති එබ්බවූ මුදු, තම මවගේ දියමන්ති මාලය පමණක් නොව ලිපිගොනු හා යතුරු කැරැල්ල පවා තම හිටපු සේවකයා විසින් සොරකම් කරන ලදැයිද ඒ නිසාම තම ව්‍යාපාරය බිඳ වැටුණේ යයිද ඉතාලි ව්‍යාපාරිකයා ආරක්ෂක ලේකම්ට කියා ඇත.
ගෝඨාභය ජයලත් වික‍්‍රමසිංහ හෙවත් තරිඳු ලොකුගේ යන නම්වලින් පෙනී සිටි මොහු දැනට මාරවිල මහේස්ත‍්‍රාත් උසාවියේ දැඩි අප කොන්දේසි මත මුදාහරිනු ලැබ සිටියි. මේ සිද්ධියෙන් පසු ඉතාලි ව්‍යාපාරිකයා විසින් ශ්‍රී ලාංකික සේවකයෝ දස දෙනෙක් ඉවත් කරනු ලැබූහ.
මාරවිල පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කර ඇත්තේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් නොවේ. ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීම හා ව්‍යාජ ලේඛන සම්පාදනය කිරීම සම්බන්ධයෙනි. මේ නඩුව දෙසැම්බර් 17 වැනිදාට කල්තබා ඇත.
සොරකම් කළ තම භාණ්ඩ හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවද ඔහු කියා ඇත. මේ සොරකම මුලින්ම හෙළි කළේ ලංකාදීප පත‍්‍රය හා ලංකාදීප වෙබ් අඩවියයි.

