ඇවන්ට් ගාඩ් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්


(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , නිමන්ති රණසිංහ)

“ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ 5 වැනි සහ 12 වැනි විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අද (03) නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය.

අධිකරණය මඟින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ රක්නා ලංකා සමාගමේ සමුද්‍ර ආරක්ෂා අංශයේ සාමාන්‍යධිකාරි පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති නැමැත්තන්ට එරෙහිවය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වගන්තිය අනුව කරන ලද ඉල්ලීමක් පරිදි අධිකරණය මෙසේ නියෝග කෙරිණි.

මෙම විත්තිකරුවන් දෙදෙනා විදේශ ගතව ඇති බැවින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සෙනරත් මහතා ඇතුළු සාක්කිකරුවන් පස් දෙනෙකු සාක්කි දෙමින් කියා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති කුවේර ද සොයිසා මහතා පෙනී සිටියේය.