පැරිස්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දීර්ඝ කාලීනව සිරියාවේ රැඳි සිටිය යුතු බව තමන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
සිරියානු රජයේ හමුදා අප්‍රේල් හත් වැනිදා කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයකට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෙනසුරාදා (14) ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ සිරියාවේ ඩැමැස්ක් නුවර මිසයිල ප්‍රහාර 105ක් එල්ල කළේය. ඩැමැස්කස් නුවර පිහිටි රසායනික අවි ගබඩා කර ඇතැයි පැවසෙන ස්ථාන තුනකට එලෙස ප්‍රහාර එල්ල විය.
“ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් දින දහයකට පෙර කියා සිටියා. එහෙත් එය නොකළ යුතු බවත් ඇමෙරිකානු හමුදා සිරියාවේ රැඳි සිටිය යුතු බවත් අපි ඔහුට ඒත්තු ගැන්නුවා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීය. ඉරිදා (15) මෙම සම්මුඛ සාකච්ඡාව ‘බී.එෆ්.එම් ටීවි’ රූපවාහිනි සේවය, ‘ආර්.එම්.සී රේඩියෝ’ ගුවන් විදුලි සේවය සහ මීඩියාපාට් අන්තර්ජාල පුවත් සේවය යන ප්‍රංශ මාධ්‍ය ඔස්සේ විකාශනය විය.
“ඇමෙරිකානු හමුදා දීර්ඝකාලීනව සිරියාවේ සිටීමේ අවශ්‍යතාව අපි ජනාධිපති ට්‍රම්ප්ට කියා සිටියා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් නෙරපීමට හෝ සිරියානු සිවිල් යුද්ධයට හෝ මැදිහත් වීමට අවශ්‍ය නොවූ බවත් ප්‍රහාර එල්ල කළේ සිරියාවේ රසායනික අවි ගබඩා කර තිබෙන ස්ථානවලට යැයි ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය කීය.
විශේෂ ඉලක්ක වෙත පමණක් ප්‍රහාර ප්‍රහාර එල්ල කිරීමක් අත්‍යාවශයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මුල් සැලැස්මේ කොටසක් නොවන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
රසායනික අවි ගබඩා කර ඇති ස්ථානවලට සහ විශේෂිත ඉලක්කවලට පමණක් ප්‍රහාර සීමා කළ යුතු බව අප ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය.
055

