ඇමෙරිකා විශේෂඥයෝ 300 ක් ඉරාකයට


ඉරාක ෂියා මුස්ලිම් රජයට සහාය දෙමින්, සුන්නි මුස්ලිම් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඬැලීමට තම හමුදා උපදේශකවරු 300 දෙනකු ඉරාකයට යැවීමට ඇමෙරිකා ජනපති බරැක් ඔබාමා අද (20) තීරණය කළේය.

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන සුන්නි ත‍්‍රස්තවාදීන් මැඬැලීමට ඉරාක අගමැති නූර් අල් මලිකි ප‍්‍රමුඛ එරට රජය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළේ පෙරේදාය.

ඉරාක රජය ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ, සතුරු ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කරන ලෙසටය. කෙසේ නමුත් ඇමෙරිකා රජය තවමත් ගුවන් ප‍්‍රහාර කිසිවක් ආරම්භ කර නැත. අවශ්‍ය වුවහොත් නිවැරදි ඉලක්ක හඟුනා ගෙන ඒවාට පහර දීමටත්, පාබල හමුදා ඉරාකයට යැවීමටත් කටයුතු කරන බව ජනපති ඔබාමා අවධාරණය කරයි.

මේ වනවිට ඇමෙරිකා මැරීන් සෙබළු 275 දෙනෙක් ද ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ගොස් සිටිති. ඔවුන් ගොස් ඇත්තේ, බැග්ඩෑඩයේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සහ එහි නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහාය.

ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කරන සුන්නි මුස්ලිම් ‘අයිඑස්අයිඑස්’ ත‍්‍රස්තවාදීන් උත්සහ ගන්නේ බැග්ඩෑඞ් අගනුවර අල්ලා ගැනීමටය. මේ වනවිට මොසූල්, තික්රිත් යනාදී ඉරාකයේ ප‍්‍රධාන නගර ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ සිටිති.

ත‍්‍රස්තයන්ට එරෙහිව ෂියා මුස්ලිම් සිවිල් වැසියෝ ලොකු කුඩා භේදයකින් තොරව එකමුතු වී සිටිති. ෂියා මුස්ලිම් තරුණයෝ ස්වේච්ඡාවෙන් හමුදාවට එක් වී සිටිති.

මේ අතර ඉරාකයේ ඉහවහා යන සුන්නි සහ ෂියා නිකායික ගැටුම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ‘ ඕඅයිසී’ හෙවත් ‘ඉස්ලාමීය සහයෝගීතාව පිළිබද සංවිධානය’ ලොව සියලූම මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, නිකායික ගැටුම් නවත්වා එක්සත් වන ලෙසටය.

ජගත් මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරන ‘ඉස්ලාමීය සහයෝගීතාව පිළිබද සංවිධානය’ පිහිටා ඇත්තේ සෞදි අරාබියේ ජෙඩා නුවරය.

එම සංවිධානයේ හදිසි විශේෂ සමුළුවක් ඉකුත් දෙදින එනම් 18 වැනිදා සහ 19 වැනිදා සෞදියේ රියාද් නුවරදී පැවැත්විණි.

‘ඉස්ලාමීය සහයෝගීතාව පිළිබද සංවිධානය’ සෑදී ඇත්තේ, සුන්නි ෂියා පමණක් නොව, සෙසු මුස්ලිම් නිකායවලට සම්බන්ධ නියෝජිතයන්ගේ ද එකමුතුවෙනි. ලොව ප‍්‍රධාන පෙළේ මුස්ලිම් රටවල රැසක නියෝජිතයෝ ද මීට අයත් වෙති.

දෙදින සමුළුවට ද නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. ඔවුන්  ඉරාකයේ පමණක් නොව, අපි‍්‍රකා සහ සෙසු මැදපෙරදිග කලාපයේත් වර්ධනය වන සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ ගැටුම් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.

‘අපි අතරේ නිකායික වශයෙන් බෙදීමක් අවශ්‍ය නැහැ. අප සැවොම එකමුතු විය යුතුයි. ප‍්‍රචණ්ඩත්වය නැවැත්විය යුතුයි’ යැයි සමුළුවට නායකත්වය දෙමින් සහ එය අමතමින් සෞදියේ විදේශ ඇමැති සෞද් අල් ෆයිසාල් අවධාරණය කළේය.

බැග්ඩෑඞ් නුවරදීය (ඒ.එෆ්.පී.)