ඇමෙරිකා උසාවියෙන් කොටියා තෙවසරක් හිරේ


ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට අට අවුරුද්දකට පෙර ඩොලර් දස ලක්ෂක (රුපියල් කෝටි 13.2) මිසයිල හා ඒ කේ 47 අවි හොරෙන් මිලට ගෙන උතුරට එවීමට තැත් කළ දෙමළ   කොටියෙක් නිව්යෝක් අධිකරණයකින් දෙවසරක සිර දඩුවමකට යටත් කරනු ලැබීය.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි පිරදීපන් ‘පීටර්‘ නඩරාජා (37) වරද පිළිගත්තේය.

ටොරොන්ටෝ  සිට ක්‍රියාත්මක වූ කණ්ඩායම් හොර බඩු ජාවාරම් කල්ලිය අන්තිම පුද්ගලයා වූ ඔහු  වයස අවුරුදු 14 දී කැනඩාවට ගිය පුද්ගලයකි.

 මෙය තමා අතින් වූ වරදක් බව අධිකරණයෙන් සමාව ගනිමින් ඔහු කෙටි ලිපියක් ඉදිරිපත් කෙළේය.

එහෙත් ඔහුට සිර දඬුවම් නියම විය.

 ඔවුන්ගේ හොර අවි ජාවාරම හෙළි කර ගත හැකි වූයේ කැනඩාවේ රාජකීය අශ්වාරෝහක පොලිස් බළ ඇණිය සහ ,  ඇමෙරිකාවේ එෆ් බී අයි ආයතනය එක්ව කළ පරීක්ෂණ නිසාය.

යුද්ධය පැවැති සමයේ කොටි සංවිධනය ලෝක දෙමළ සංවිධානය මගින් කැනඩාවේ ටොරන්ටෝ වැන්කුවර් හා මොන්ට්‍රියල් නගරවල කාර්යාල විවෘත කර විශාල වශයෙන් මුදල් එකතු කළේය.

ශ්‍රී ලංකා ගුවන් යානාවලට බිම සිට පහර දිය හැකි මිසයිල මිලට ගැනීම සඳහා කැනඩාවේ සිට දෙමළ ජාතිකයෝ පිරිසක් 2006 දී නිව්යෝර්ක් නුවරට ගියහ.

එහි දී ඔවුන් අවි මිලට ගැනීමට සාකච්ඡා කළේ වෙස්වළාගත් එෆ්බීඅයි නිලධරයන් සමගය.

නඩරාජා  ටොරොන්ටෝ නුවර දී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊට එරෙහිව ඔහු කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ඇපෑල පරාජය විය.

ඉන් පසු ඔහු 2012 දී ඇමෙරිකාවට පිටුවහල් කැරිණි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම් සමයේ ඔහුගේ පියාගේ කඩය පිට පිටම ගිනි තබා ඇති බවත්, ත්‍රස්තවාදී කණ්ඩායමක් ඔහු පැහැරගෙන ඔහුගේ මව්පියන්ගෙන් කප්පම් ගැනීමට සැරසුණු නිසා සිය සහෝදරයා සිටි කැනඩාවට 1990 දී නඩරාජා කැනඩාවට යැවූ බවත් නඩුවේ දී කියැවිණි.

1997 දී නඩරාජා දෙමළ චිත්‍රපට වඩීයෝ බදු දීමේ වෙළෙඳසළක් ටොරොන්ටෝ නුවර මුලින්ම අරඹා තිබූ බව ද, කැනඩාවේ අයිබීඑම් බෙල් රොජර්ස් ආයතනවල සේවය කළ බව ද නඩුවේ දී සඳහන් විය.

නඩරාජා 2005 දී උතුරේ කොටියනට කැනඩාවෙන් ජංගම දුරකතන ද, අදුරේ දී භාවිත කරන ගොගල්ස් ද මිලට ගෙන ඇතැයි ද පැමිණිල්ලෙන් කියැවිණි.