ඇමැතිවරු දේශපාලන සූදුවේ: ලක්ෂ 45 ක් ජීවන සටනේ


(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අවස්ථාවේ ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (28)පැවසීය.

ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා  මේ බව පැවසීය.

ඇස් බැන්දුම් චක්‍රලේඛන හරහා සෙල්ලම් කිරීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකවරයා  ජනතාව ජීවිතය සහ මරණය අතර අර්බුදයක සිටින බවද පැවසීය.

දේශපාලකයින්ට, කෝටිපතියන්ට, වංචාකාරයින්ට නැති නීතිය රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බවත් ඔහු පැවසීය.

මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල රටේ ක්‍රියාත්මක විය යුතු බවත්, අන්ත ලිබරල්වාදය මේ වනවිට ලෝකයෙන්ම ප්‍රතිකේෂේප වන බවත් විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවසීය.

මෙම  අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ද එක්ව සිටියේය.