ඇමරිකාවේ බලාපොරොත්තුව තානාපතිනිය අගමැතිට කියයි


(සුජිත් හේවාජුලිගේ )

දේශපාලනික අර්බූදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය  ඔස්සේ විසඳාගෙන  සියලු පක්ෂ එකතු වූ රජයක්  ශ්‍රී ලංකාවේ  නිර්මාණය වනු දැකීම ඇමරිකා එක්සත් ජනපදයේ  අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (28) පැවසීය.

ඇය මෙසේ පැවසුවේ අගමැතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  අද (28) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ඇමරිකාව ශ්‍රී ලංකාව සමග   රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා වෙළෙඳ සබඳතා දීර්ඝ කාලීනව සහ අඛණ්ඩව  පවත්වාගෙන යෑම  අග්‍රාමාත්‍යවරයා අගය කළේය.

ශ්‍රී ලංකාවට මේ  බැරෑරුම් අවස්ථාවේදි ඇමරිකා එක්සත් ජනපදය ලබාදුන් හදිසි මූල්‍ය ආධාර  මහත් ශක්තියක් වූ බව එහිදී  පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉදිරියටද  සහාය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයේ සෘජු ආයෝජන  වැඩි කරන ලෙසත්  කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාක්ෂණ හා මූල්‍ය සහාය  ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කළේය.

එසේම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ  ආයෝජන අවස්ථා ප්‍රවර්ධන  කරන ලෙසද  අග්‍රාමාත්‍යවරයා  වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින්ද  ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින්ද  පවත්වාගෙන යෑමට රජය කැපවී සිටින  බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ‍ය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ඇමරිකා එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ශක්තිමත්ව ලබාදීමට අපේක්ෂා කරන බව තානාපතිවරිය  පැවසුවාය.

සියලු පක්ෂ එකතු රජයක් නිර්මාණය කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ආයතන පද්ධතින්ගේ සහාය ලබා ගැනීමටත්  ද්විපාර්ශික ආයෝජන වැඩි කරගැනීම සඳහාත්  කවුළුවක් විවර වන බව තානාපතිවරිය සඳහන් කළාය.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කිසිදු අයුරකින් ප්‍රචණ්ඩත්වය  හා  ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාදාමයන් අනුමත නොකරන බවද ඇය කීවාය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.