ඇපල් බැක්ටීරියාවෙන් ලෙඩේ බඩටයි


ඇපල් ආහාරයට ගත් අයකුට රෝග ලක්ෂණ කිසිවක් නැතිනම් බියක් ඇතිකැර ගත යුතු නැතැයි  වෛද්‍ය පරිපාලන විශේෂඥ  දොස්තර රත්නසිරි හේවගේ මහතා කියයි.

‘‘ඇමෙරිකා මේ ඇපල් වර්ගයේ  අහිතකර බැක්ටීරියාව ශරීගත වූ විට එය ආහාරමාර්ග පද්ධතියට ඇතුළු වීම නිසා උණ, බඩේ අමාරු, වමනය, මස්පිඩු වේදනාව වගේ රෝග ලක්ෂණ පෙන්වනවා. මෙවැනි රෝග ලක්ෂණ නැතිනම් ඇපල් කෑවා යැයි කියා අනියත බියක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ.  ඒ වගේ ම මේ බැක්ටීරියාව සිරුරට අහිතකර වුවත් එයට ප්‍රතිකාරයක් තිබෙනවා. ඒ නිසා හානියක් නැහැ. නමුත් සිරුරේ ප්‍රතිශක්තිය අඩු ළමයි, වයස්ගත පුද්ගලයන්, ගැබිණි මව්වරු වගේ අය නැතිනම් රෝගයකින් පීඩා විඳින අයට මේ බැක්ටීරියාව ඇතුළු වූ විට වඩාත් අපහසුතා දැනෙන්න පුළුවන්. “

වෛද්‍ය හේවගේ මහතා පවසන්නේ දැන් වෙළඳ පොළෙන් ඇමෙරිකා ඇපල් ඉවත්කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඉදිරියේ දී ගැටළුවක් ඇතිනොවන බවයි.

  ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අානයනය කරන ලද ඇපල් තොගවල මිනිස් සිරුරුට අහිතකර ලිස්ටීරියා මොනසයිටොජිනස් listeria monocytogenes නමින් හඳුන්වන මේ බැක්ටීරියාවක් ඇති බව  ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මේ පිළිබඳ වාර්තාවීමත් සමග මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඇපල් තොග වෙළෙඳ පොළෙන් ඉවත්කරණ ලෙස සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට හා ඇපල් ආනයන කරුවන්ට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකින් ඇපල් ආනයනය කරයි. ඇමෙරිකාවෙන් ගෙන්වන ඇපල් වර්ගය තරමක් කුඩා දිලිසෙන තද පොත්තක් සහිත ඇපල් වර්ගයකි. එහි අලවා ඇති ස්ටිකරයේ නිෂ්පාදිත රට යූ.එස්.ඒ. යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.