ඇතින්නියන්ගේ මරණ වලට හේතුව තවම අබිරහසක්


(කාංචන කුමාර ආරියදාස)
 
 හබරණ   හිරිවඩුන්න  තුම්ඹිකුලම රක්ෂිතයේ මියගිය ගොස් සිටි ඇතින්නියන්ගේ  ශරීරයන්හි යම් විෂක් ඇතුළත්ව ඇති බවට   පශ්චාත් මරණ පරීක්ෂණයේදී   යම්  වශයෙන් හෙළිව  තිබුනද ,එය නිශ්චිතවම  කිව නොහැකි බව    වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද ( 29 ) පැවසීය.
 
 එම විෂ ශරීරගත වී ඇත්තේ  යමෙකු විසින් ලබා දුන් ආහාරයක් මගින් යැයි තහවුරු කිරීමට ප්‍රමාණවත්  සාධකයක් නොමැති බවත් පැවැසූ වෛද්‍යවරයා සඳහන් කළේ  එක ඇතින්නියකගේ උදරයේ කැකිරි ඇට කිහිපයක් සහ අනිත් සෑම ඇතිනියකගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බවයි.
 
එහෙයින්  වෙනත් ආහාරයක්  පිටතින් ලබා දී ඇති සලකුණක් දැකගැනීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
 
 ඔවුන්ගේ මරණ පරීක්ෂණවලින්  ශරීරයේ  හමු වූ ආහාර වලින් යම්  විසක් ශරීර ගතවී උදරයට අධික ලේ වහනයක් සිදුව තිබූ බවට සැක කරන බවද  වෛද්‍යවරයා සඳහන් කළේය. 
 
  කෙසේ වෙතත්  වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ මහතා පැවසූයේ   නිශ්චිත වශයෙන්ම මියයෑමට හේතුව  ප්‍රකාශ කළ හැක්කේ විද්‍යාත්මක පරීක්ෂණයෙන් පසුව බවයි.  ඒ සඳහා අවශ්‍ය  කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. 
අද  යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත්  රක්ෂිතයේ සිට කලාවැව දක්වාම  මළසිරුරු ඇද්දැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
 
ඇතින්නියන්  තිදෙනකුගේ   පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (29)  සිදු කෙරිණි.
 
ඇතැම් මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලටද බාධා  ඇති විය.