ඇතින්නියන් 7 දෙනාගේ මරණවල වගකීම රජය බාරගනී


(කාංචන කුමාර ආරියදාස)

හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ මිය ගොස් සිටි ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය බාර ගන්නා බව සංචාරක  වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.

මාධ්‍ය මගින් දැනුවත් වනතුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරයකු තමන්ව දැනුවත් කර නැතැයි අලුවිහාරේ මහතා කීය. හිරිවඩුන්න රක්ෂිත ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

වන අලින් හා ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම වැළැක්වීමට රජය ක්‍රියාත්මක නොවීමෙන්  මෙම වන අලි මරණ සිදුවන බවත් එහි වගකීම රජය විසින් බාර ගැනීම සිදු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි බරපතල ව්‍යසනයක් සිදුව ඇතත් මේ විටත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හෝ කිසිදු නිලධාරියකු රජය දැනුවත් නොකිරීම බරපතල වරදක් බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සිගිරිය වනජීවී අඩවි ආරක්ෂක ආර්. එම්. චන්ද්‍රා බණ්ඩාරනායක මහතා මෙසේ කීය.

'මියගිය ඇතින්නියන් කිහිපදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. යම්කිසි විසක් ශරීරගත වීමෙන් මියගිය බවට දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එහෙත් නිශ්චිත වශයෙන් කුමන වසක් විසක් ශරීරගත වූණේද කෙසේ ශරීරගත වුණේ ද යන්න තවදුරටත් සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරනවා.'

එම වාර්තාව කඩිනමින් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීයාට උපදෙස් ලබා දුන්නේය.

මේ වනවිට අලි මිනිස් ගැටුම රටපුරා පවතින බවත් එම නිසා කඩිනමින් යුද හමුදාව යොදාගෙන රක්ෂිත විදුලි වැටවල් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් කිසි මිනිස් ක්‍රියාකාරකමක් තුළ මෙම වන අලින් මිය ගියේ නම් පරීක්ෂණ වාර්තා සොයා බලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කිසිදු තරාතිරමක් නොබලා  පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම ස්ථානයේ සිටි වනජීවී නිලධාරීන් සමඟද ඔවුන්ට ඇති අඩුපාඩුකම්  පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.