ඇත්ත පැවසීම නිසා දිල්රුක්ෂිගේ වැඩ තහනම් වුණා යැයි මහින්ද කියයි


(නාලක සංජීව දහනායක)

සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමට ඇත්තම හේතුව වත්මන් ආණ්ඩුවේ බලපෑම් සම්බන්ධයෙන් ඇත්ත ප‍්‍රකාශ කිරීම යැයි විපක්‍ෂානයක මහින්ද රාජපක්‍ෂ මහතා අද (29) පැවසීය.

වත්මන් ආණ්ඩුව කළ වැඩ පිළිබඳව එකිනෙක එළිවෙමින් තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී තවත් බොහෝ දේවල් හෙළිවේ යැයි ද ඔහු කීය.

එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.

"වසර විසි ගාණකට පසුව අපිට සියලූ මැතිවරණ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැත්වීමේ හැකියාව ලැබුණා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කළා. නමුත් මේ අය මැතිවරණ කල් දැම්මා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් චෝදනා නැතුව තමන්ගේ විරුද්ධවාදීන්ට නඩු පැවරූ ආකාරය ගැන සොලිස්ටර් ජනරාල්වරිය දැන් කියනවා. ඇත්ත කියන්න යෑම නිසා දැන් ඇයගේ වැඩ තහනම් වෙලා. මේ ආණ්ඩුව කරපු වැඩ ගැන දැන් එකිනෙක එළිවෙමින් තිබෙනවා. තවත් ඒවා ඉස්සරහදි එළිවේවි.

පහුගිය කාලේ නියඟය තිබුණා. දැන් වැස්ස වැඩිවෙලා ගංවතුර ගලලා. යුද්ධය නිම කරලා අපිට අවුරුදු දහයක් නිදහසේ ඉන්න ලැබුනේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ පිපුරුණා. ජාතික ආරක්‍ෂාව විනාශ කළා. එතැනින් නැවතුණේ නැහැ. දැන් අලි මරා දමන්නත් පටන්ගෙන. කැලේ ඉන්න අලින්ට විස කවලා මරාදමනවා. කකුල් දෙකේ අලිනම් පන්නන්න ඕනෑ. මේ තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි" යැයි ඔහු කීය.

කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (29) පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.