පොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙසේ සුන්දර පරිසරයක සංචාරක නිවාස සමුහයක් ඉදිකර ඇත.
2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබිණි. කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර ඇත.
අඩු ගණනේ මෙම ප්‍රදේශය අක්කර 800 කට වඩා වැඩි බව පානම වැසියෝ කියති. ඒ අසල තවත් අක්කර 160 ක එවැනිම කබානා ස්වරූපයේ ගොඩනැගිලි ඉදිවෙමින් පවතී.
2010 ඔක්තෝබර් මාසයේ මෙම පෙදෙසේ රජයේ ඉඩම්වල පදිංචිවී සිටි පවුල් 30 ක් පමණ මුහුණු බැඳගත් මැර හමුදාවකින් පන්නා දැමීමෙන් පසුව අක්කර 160 ක පමණ ප්‍රදේශයේ මෙම ඉදිකිරීම් දක්නට ඇත. එම පෙදෙස් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර ඇත. නාවික හමුදා කඳවුරක්ද ඒ සමීපයේ ගුවන් හමුදා කඳවුරක්ද ඇත.
අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන පෙදෙසේ ඉදිකිරීම් අවසන්වී නැත. අවුරුදු 30-40 ක් මෙම පෙදෙසේ හේන් ගොවිතැන් කරමින් පදිංචිවී සිටි දරු පවුල් පන්නා දැමූ මැරයන් මෙතෙක් අල්ලාගෙන නැතැයි දැන් පානම පදිංචිවී සිටින එම පිරිස් කියති.
ඡායාරූප - යූ.විජේසිංහ
















