ආගමන විගමන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති


(ටී.කේ.ජී.කපිල)

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම අද (02) සිට ඉදිරි පැය 48 ක කාලය තුළ සිදු නොවුණ හොත් සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු මෙම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ ආගමන විගමන සේවාවට සිදු වී ඇති අසාධාරණකම් සහ තම සේවාවේ හටගෙන ඇති බරපතල ගැටළු විසදා ගැනීමට අවස්ථා රාශියකදීම බලධාරීන්ගේ අවධානය යොමු කළ ද ඒ සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව කණුගල මහතා පෙන්වා දෙයි.

මේ නිසා 2018 වසරේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට මෙම නිලධාරීන් අවතීර්ණ වූ අතර 2018.05.18 දින ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී අප සේවා ගැටළු විසදීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන් අතර පසුව අග්‍රාමාත්‍යවරයා ද මෙම ගැටළු විසදීම සඳහා කමිටුවක් ද පත් කළේය. එමගින් ද මෙම වෘත්තීය ගැටළු වලට විසඳුමක් නොලැබුණ බවද ඒ මහතා පැවසීය.

ඉන්පසු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද රනුග්ගේ විශේෂ කොමිසම වෙත ද ලිඛිතව සේවා ගැටළු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළ ද  එම කොමිසම සේවා ගැටළු පිළිබඳව කිසිඳු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැත.

2019.08.01 දින මෙම සේවා ගැටළු පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ අතර එහිදී ඔහු ඒ සඳහා මාසයක කාලයක් තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට පොරොන්දු විය.

නමුත් මේ දක්වා එය ඉටු නොවී පවතින අතර 2019.10.02 දින අමාත්‍යවරයා හමු වී මෙම ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී ඉදිරි පැය 48 ක කාලය තුළ ආගමන විගමන නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත් වීම සිදු නොවුණ හොත්

ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළ , වරාය ඇතුළු ආගමන විගමන නිලධාරීන් රාජකාරී සිදු කරන සේවා ස්ථාන ආවරණය වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වන බව ද කණුගල මහතා  පැවසීය.