(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා වහාම ඉවත්කර පැය 48 ක් තුළ ස්ථිර අධ්‍යක්ෂකවරයකු පත්කිරිමට බලධාරින් ක්‍රියා නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාකාරි එකමුතුව පවසයි.
රෝහල් වෘත්තීය ක්‍රියාකාරි එකමුතුව අද (4) අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ කීවේය.
රෝහල් කාර්ය මණ්ඩලයට අශිෂ්ඨ සම්පන්න ලෙසින් බැන තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන්නැයි මොවුහු ඉල්ලති.
මෙම මාධ්‍ය හමුව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සියලු නිලධාරින් ඇතුළු වෘත්තීය සංගම් 11ක නිලධාරින් එක්ව සිටියහ.
මෙම මාධ්‍ය හමුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ විවෘත ස්ථානයක පැවැත්වීම විශේෂත්වයකි.
මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා මෙසේ පැවසීය.
අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ කාරණා දෙකක් මුල්කරගෙන. අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. චින්තක බටවල කියලා මහත්තයෙක්. ඔහු දිගින් දිගටම අශිෂ්ඨ සම්පන්න විදියට රෝහලේ සේවක මහත්ම මහත්මින් අපහසු තත්වයට පත්කර තිබෙනවා. නින්දිත ආකාරයට රෝහල් කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර පහරදිමට තැත්කර තිබෙනවා. ඔහුගේ ගෝලයෙක් රෝහලේ සේවිකාවකට ලිංගික අතවරයක් කිරිමට තැත්කර තිබෙනවා. එම පරික්ෂණ මේවන විට යටපත් කර තිබෙනවා. මෙවැනි බරපතල සිද්ධින් රැසක් ඔහුට විරුද්ධව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියට සහ බලධාරින්ට පැමිණිලි කර තිබෙනවා. මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා රෝහලේ වෙනත් ස්ථානායකට මාරු කර විනය පරික්ෂණයක් පවත්වන්න කියලා. නමුත් විනය පරික්ෂණය තිබුණේ ඔහුට වාසිවන අයුරින්. නව සෞඛ්‍ය ඇමැතිවරිය ගෙන් ඉල්ලා සිටිනවා මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වහාම ඉවත් කර ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න. පැය 8 ක් තුළ බලධාරින් සාධනීය ක්‍රියාමාර්ගයක් නොගත හොත් අපි මේ සම්බන්ධයෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා.
දෙවන කාරණය 2017 සැප්තැම්බර් මාසයේ ඉදලා මේ රෝහලට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් නැහැ.මේක ලංකාවේ විශාලතම රෝහලග හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අපොහොසත් වෙලා තියෙනවා. මේ රෝහලට පරිපාලන නිලධාරිවරයෙක් ලබාදෙන්න. මේ රෝහලේ විශේඥ වෛද්‍යවරු 90 කට ඉහළ සංඛ්‍යාවක් සේවය කරනවා. එවන් ස්ථානයකට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිවරයෙක් අවශ්‍යයයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක දුලාන් සමරවිර මහතා සාධනීය ලෙස රාජකාරි කටයුත්තක් කළා.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකය සෑදීමේ දී රුපියල් ලක්ෂ 700 ක් ඉක්මවු වංචාවක් සිදුවුණා. ඒ මුදල් ආගිය අතක් නැහැ. හදිසි ප්‍රතිකාර ඒකකයේ හදලා තියෙන්නේ කොන්ක්‍රීට් කණු හතරක් විතරයි. ගමේ මුදල් වලට වුණ දෙයක් නැහැ. කොන්ත්‍රාත් සමාගම එම මුදල් රජයට බාරදිලත් නැහැ. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරිය වැඩබලන අධ්‍යක්ෂ දුලාන් සමරවිර මහතාට දැනුම් දිලා තිබෙනවා. මේ වැඩ බිම වහලා කටයුතු නිමා කරන්න කියලා. එම යෝජනාවට වැඩබලන අධ්‍යක්ෂකවරයා අකමැති වූ නිසා ඔහු ස්ථාන මාරු කළා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන, ලේකම් වෛද්‍ය එම්.වි.ඩි.එස්.පි.විතානගේ,භාණ්ඩාගාරික වෛද්‍ය අංජන චන්ද්‍රසේකර, ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු ජී.එම් සුමිත් බණ්ඩාර යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුව ඇමතු අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති 11 ක නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.




