අල්ලස් ගත්තැයි හිටපු ස්ථානාධිපතිවරයකුට වසර 28ක සිර දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)

අතුරුදන් වු පුද්ගලයකු සොයාදීමට අතුරුදන් වු පුද්ගලයකුගේ ඥාතියෙකුගෙන් රුපියල් ලක්‍ෂ තුන හමාරක අල්ලසක් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු හලාවත බුද්ධි කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (28) වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා අටෙන් චෝදනා හතරක්ම පැමිණිලිකාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා සිර දඬුවමට අමතරව රුපියල් ලක්‍ෂ 05ක දඩයක්ද නියම කළේය.

මෙලෙස දඬුවම් නියම වුයේ හලාවත බුද්ධි කොට්ඨාශයේ ස්නාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. උදය හේරත් නමැත්තාටය.
 
ඒ අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් විත්තිකරු වරදකරු වු චෝදනා හතරට වසර 28ක සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා මෙම සිරදඬුවම වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කරන ලෙස නියම කළේය.