අර්ථසාධක අරමුදලේ ගැණුම්කරුවකුගේ සේවය අත්හිටුවයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

සේවක අර්ථසාධක අරමුදලේ ගැණුම්කරුවකු ලෙස කටයුතු කළ සමන් කුමාර මහතාගේ සේවය සඳුදා (10) සිට අත්හිටුවා ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (11) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා කොමිසම අමතමින් සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාගේ නම මාධ්‍යයේ නිතර පළවීම මඟින් මේ වන විට ඔහු තරුවක් බවට පත් වී ඇතැයි දැනුම් දුන් අවස්ථාවේදී ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඒ බව දැනුම් දුන්නේය.

 
නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා විසින් අසන ලද හරස් ප‍්‍රශ්ණ වලට පෑන් එෂියා බැංකුවේ ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පිළිතුරු දුන්නේය.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා-2015-2016 කාලයේදී ඔබලාගේ අලෙවි කුටියෙන් දිනකට කොපමණ ගනුදෙනු කළාද?

පිළිතුරු. ගනුදෙනු 25ක් 30ක් විතර.

පෑන් ඒෂියා බැංකුවේ නිලධාරීයකු සහ සමන් කුමාර අතර සිදුවු දුරකථන සංවාදයක පටිගත කළ සංයුක්ත තැටියක් මේ අවස්ථාවේදී ප‍්‍රතිවාදනය කර පෙන්වීය.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා-මෙය පෑන් ඒෂියා බැංකුව හා සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතා අතර සිදුවු සංවාදයක්, සේවක අර්ථ සාධක අරමුදල කිසිවක් දන්නේ නැහැ වාගේ සිටි බවක් එම සංවාදයෙන් කියැවෙනවා.

ප‍්‍රශ්නය- මෙම දුරකථනයෙන් කතා කළේ කාටද?

පිළිතුරු- සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාට.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා- සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර මහතාගේ නම මාධ්‍යයේ නිතර පළවෙනවා. මේ වන විට ඔහු තරුවක් බවට පත් වී තියෙනවා.

ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා- සේවක අර්ථ සාධක අරමුදලේ ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කළ සමන් කුමාර මහතාගේ සේවය සඳුදා(10) සිට අත්හිටුවා තියෙනවා.