අඹන්පොළත් වැදි පරපුරක්


මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය විකාශනය පිළිබඳව කිසියම් ඉඟියක් වර්තමානයට දිය හැකි සාධක කිහිපයක් මහව අඹන්පොල ගුරු ගොඩ කැනීම්වලින් සොයා ගෙන ඇතැයි එහි පර්යේෂණ නිලධාරී රසික බංඩාර මහතා පවසයි.

ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරය හා සබඳකම් ඇති වාරි ශිෂ්ටාචාරයත් ගුරුගොඩ ගල් සොහොන් කොතත් ඒ පිළිබඳව සාක්කි සපයන බව පර්යේෂකයෝ කියති.

යාපහුව-ගල්ගමුව අතර අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතරගල්ල ගම්මායිමට ආසන්නව පිහිටි 131 ගුරුගොඩ ප්‍රදේශයේ දී මෙම තොරතුරු වසරක කැනීමකින් අනතුරුව සොයා ගැනීමට හැකි වූ බව ඔවුහු පවසති.

මෙම ප්‍රදේශයේ පැවති වාරිශිෂ්ටාචාරයට අඹකොලවැව, මැඩියාව, අතරගල්ල, පාළුකඩවල හා මීඔය සාක්කි සපයයි.

මෙම ගල් සොහොනට අවුරුදු 30,000කට වැඩි දිගු ඉතිහාසයක් ඇති බවට ඔවුහු විශ්වාසය පළ කරති.

ඊට හේතු ලෙස පෙන්වා දෙමින් ප්‍රධාන පර්යේෂණ නිලධාරී බංඩාර මහතා මෙසේ කියයි.

‘ලංකාවේ පැරණි මානව ශිෂ්ටාචාරය ස්ථාපිත කිරීමට ජලය මූලික කර ගෙන තියෙනවා. මෙම ප්‍රදේශයේ පරිසරය ජීවත් වීමට සුදුසු භූමිකාවක් කරගෙන ඇත. සොහොන පිහිටි ස්ථානයේ බිම අඩි දෙකක් තුනක් පහළට පස් ගත් විට බොරළු පසක් දක්නට ලැබෙනවා. එහි කිසිදු කෘෂි කටයුත්තක් කරන්න බෑ. ඒ නිසා එම කොටස සොහොන් කොතට භාවිතා කරන්නට ඇතැයි සිතනවා.

‘වටේම තැබූ ගල් මත ඉහළ ගල් ආවරණයක් යොදා එහි යට (පොළොව) මැරුණ අයගේ පිලිස්සූ අළු තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

නොදියුණු සම්ප්‍රදායික ලක්ෂණ මෙන්ම එවැනි සම්ප්‍රදායක් කර පින්නාගත් පිරිසක් සිටි බවට අනුමාන කරනවා. අදටත් මෙහි ජීවත් වන ජනයා ඒ සම්ප්‍රදාය මත කටයුතු කරන පිරිසක් බවට පත්ව සිටිනවා.

වැදි පරම්පරාවකට සම්බන්ධකම් ඇති බවට එම ප්‍රදේශයේ ජනයාගේ වාසගම් වලින් පිළිබිඹු වෙනවා.

ඇදිදුන්න විවිදිතිලක සිංහ සිංහ ප්‍රතාප වන්නිනායක රංගේ බංඩාර මුදියන්සේලාගේ ආදී වාසගම් දක්නට ලැබෙනවා. මෙයින් පැහැදිලි වෙනවා ඉතා දිගු කාලීන ඉතිහාසයක් මෙම පිරිසට නෑකම් ඇති බවට.

මෙහිදී ක්‍රිස්තු පූර්ව හාරසිය සියවසේ අක්ෂර හමුවී තිබෙනවා. එයින් භාෂාව සාහිත්‍ය සන්නිවේදනය ගැන තොරතුරු රාශියක් මතුවෙනවා.

අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් යැයි සැලකෙන කාසි හා රන්මාලයක යැයි සැලකෙන පබළු 500ක්, දේව රූප යැයි සැලකෙන මැටි  පිළිම 10ක් රන් මාල කෑලි කිහිපයක්, ගෘහ නිර්මාන සඳහා යොදා ගත ගඩොල් වර්ග හැඩතල 20ක් ආදිය හමුව තිබේ.

මෙහිදී සොයා ගෙන ඇති සෙල්ලිපියෙන් ඓතිහාසික තොරතුරු රැසක් හමුව ඇති බව රසික බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

සෙන්ටි මීටර 180ක් දිග සෙන්ටි මීටර 40ක් පමණ පළල මෙම සෙල්ලිපියෙහි දළ වශයෙන් අක්ෂරයක පළල සෙන්ටිමීර පහක් පමණ වේ. මෙහි අක්ෂර ලක්ෂණවලට අනුව ශිලා ලේඛනය ක්‍රිස්තු වර්ෂ පස්  වැනි සියවසට පමණ අයත් යැයි සැළකේ. මෙහි එකම ස්ථානයේ සෙල්ලිපි තුනක් පමණ පිහිටුවා ඇති බව හදුනා ගෙන ඇත.

වඩා හොදින් කියවා ගත හැක්කේ එක් සෙල්ලිපියක් පමණි.

එහි තනි පෙළක් වශයෙන් ලියවී ඇති බව සිතිය හැකි අතර අවසන් පද කිහිපය පමණක් හඳුනා ගත හැකිය.

‘ම(නි) .. යන චිදි වහරල

අර්ථය - .... යන් වහරල මුදවන ලදී.

දෙවැනි ලිපිය -

පළමු ලිපියට පහළින් දෙපෙළක් වශයෙන් ලියා ඇත. මේවා එකිනෙකට වෙන් කර හඳුනා ගැනීමට දුෂ්කරය. වැදගත් කරුණ වන්නේ සෙල්ලිපි පිහිටි එම නටබුන් විහාරයෙහි පැරණි නාමය සදහන් වේ.

පෙළ - අතරගල වි(හ) වෛඩු මිහිදලහ වරිල .... (ත).. රිග

අර්ථය - අතරගල විහාරයෙහි වඩු මිහිදල ගේ වහරල. (වහරල යනු වහල් යැයි කියැවේ)

මෙම තොරතුරු අතරගල විහාරයේ නටඹුන් වලට හොඳම සාක්කියකි.

මෙම ස්ථානය අවට පිළිම ගෙයක්, ප්‍රාකාර බැම්ම, ගොඩනැගිලි, ගල් කණු ආදියෙහි ලක්ෂණ හදුනා ගත හැකිය. අතරගල්ල යනුවෙන් ගම්මානයක් ද අද වන විටත් පවතී.

මෙම කැනීම් මධ්‍යම සංස්කෘතික අරමුදල, වයඹ සංස්කෘතික චතුරස්‍රය හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය එක්ව සිදු කෙරේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී අධිකාරී, යාපහුව ව්‍යාපෘති කළමනාකරු පී ආර් එස් බංඩාරනායක, සහකාර අධ්‍යක්ෂ සුමේධ කරනරත්න හා පුහුණු පර්යේෂණ නිලධාරීන් වන ගයනී චතුරිකා, උදේශිකා මෙම කැනීම් කටයුතුවලට දායක වූහ.

ප්‍රධාන පර්යේෂණ නිලධාරී රසික බණ්ඩාර මහතා