අභයාරාමයේ දේශපාලන කටයුතුවලට අතුරු තහනමක්


( නිමන්ති රණසිංහ,තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම ගොඩනැගිල්ලේ දේශපාලන , මාධ්‍ය හා වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වළකාලමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව වාරණයක් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය එම පැමිණිල්ල විභාගය අවසන් වන තෙක් බල පැවැත්වේ.

එම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහෙන බවත් බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වන බවත් කියමින් කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ විහාරාධිපති පත්බේරියේ විමලඥාන හිමි විසින් එම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබිණි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටිති.

වගඋත්තරකාර ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයේ රැඳී සිටිමින් එකී විහාරස්ථානයට අයිතිවාසිකම් කියන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ වගඋත්තරකාර හිමි නම විසින් දේශපාලන කටයුතු සහ වෘත්තීය සමිති කටයුතු සඳහා භාවිතා කරන බවත්  පරිගණක ආයතනයක්ද පවත්වා ගෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එක් මහලක් රජයේ ආයතනයකට බදු දී ඇති බවත් මෙම ව්‍යාපාර වලින් උපයන ලාභය විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදන බවත් පැමිණිල්ලේ සඳහන්වේ.

මෙය වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ ගේ ඒකමතික තීරණයෙන් සිදුවන බවත් ඉන් උපයන ආදායම අවභාවිත කිරීමක් සිදුවන බවත් පැමිණිලිකාර විමලඥාන හිමියෝ කියා සිටිති.