අනුලාදේවි චෛත්‍යයේ කැනීම් බලන්න සංස්කෘතික ඇමැති යයි


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයෙහි මේ වන විට සිදු කර තිබෙන කැනීම් කටයුතු පිළිබඳව සොයා බැලීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කළේ ය.

අනුලා දේවී චෛත්‍යයෙහි කැනීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී සොයා බැලීය.

අපේ රටේ ප්‍රථම භික්ෂුණීන් වහන්සේ වන අනුලා දේවිය ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා මිහින්තලේ පිහිටි අනුලාදේවි චෛත්‍ය පිහිටි භූමියෙහි වැඩවාසය කළ බවට සැලකෙන අතර. ක්‍රි.පූ.02 සියවසේදී පමණ විහාර මහා දේවිය විසින් මෙම ස්ථානයේ විහාර ආරාම ඉදිකර පූජා කර තිබූ බවට සාධක දක්නට ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති .

අනුරාධපුර මුල් භාගයට අයත් ස්ථූපයක නටබුන්, මැටි බදුන් කොටස් , ගොඩනැගිලි අවශේෂ කොටස් ඇතුළු පුරාවිද්‍යා වස්තූන් මේ වන විට සොයා ගෙන තිබේ.

දිගු කලක් මුළුල්ලේ නිසි අවධානයක් නොමැතිව කෑලෑවට ගොස්තිබූ මෙම  ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම හා මංගල ශිලා ප්‍රතිස්ථාපනය 2021 දෙසැම්බර් 26 වැනි දින මිහින්තලා රාජමහාවිහාරාධිපති හා භාරකාර වලවාහැංගුණුවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති බෝදාගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දායකත්වයෙන් මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.