අනාගත නායකයන් ගොඩනැගෙන්නේ සදාචාරාත්මක වටිනාකම් මතයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අනාගත නායකයින් ගොඩනැගෙන්නේ සදාචාරාත්මක වටිනාකම් මත බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ප්‍රකාශ කළේය.

හෙට දවසේ නායකයින් වන ශිෂ්‍ය ප්‍රජාව, වැඩිහිටියන්ට ගරු කිරීම, සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කර ගැනීම සහ අවංක පුරවැසියන් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායකවරයා මෙසේ පැවසුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

සභා වාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණ.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණ.