අධිකරණයේ කලහ කළේ ඥානසාර හිමි බව හඳුනාගැනේ


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩු විභාගය පැවති දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කතා කරමින් කලහකාරී ලෙස හැසිරුනේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අභියාචනාධිකරණය හමුවෙහි අද (20) හඳුනා ගත්තේය.

එදින අධිකරණයේ විනිශ්චයාසනයෙහි විනිසුරුවරයා අසුන් ගෙන් සිටියදී ශබ්ද නඟා කතා කරන ලද භික්ෂුන් වහන්සේ කවුරුන්ද යන්න හඳුනාගත හැකි දැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස හඳුනා ගත්තේය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාව තුළ නියෝගාත්මක ලෙස ශබ්ද නඟා කතා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එහි දෙවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම නඩු විභාගය පැවැත්වේ.

2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩු විභාගය අවසන් වනවාත් සමඟම අධිකරණයේදී කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් කර ඇත්නම් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේසත‍්‍රාත්වරයාව සිටි රංග ශ්‍රීනාත් දිසානායක මහතා අභියාචනාධිකරණයට කරුණු විමසීමක් යොමු කර තිබිණි.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය දුන් උපදෙස් මත නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා චෝදනා හතරකින් යුතු චෝදනා පත‍්‍රයක් ඥානසාර හිමියන්ට බාරදෙනු ලැබීය.

එම චෝදනාවන්ට තමා නිවැරදිකරු බව ඥානසාර හිමියන් ප‍්‍රකාශ කිරීම නිසා මේ සම්බන්ධ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව නඩුවෙහි පළමු සාක්කිකරු ලෙස හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග ශ්‍රීනාත් දිසානායක මහතා සාක්කි දීම සිදු කළේය.දෙවැනි සාක්කිකරු ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පළමුවරට සාක්කි දීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

එහිදී සාක්කි දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේද කීය.

‘‘ ඉකුත් වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගය පැවතෙද්දි එවකට රජයේ අධිනීතීඥවරයෙකු ලෙස කටයුතු කළ මා නීතීපතිවරයා වෙනුවෙන් ඊට සහභාගී වුවා.

එම නඩුව අවසන් වනවාත් සමඟම මා අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.ඒ සමඟම උස් හඬින් කතා කරන හඬක් අධිකරණ ශාලාව දෙසින් මට ඇහුණා.ඒ මෙහොතේදීම ‘ඥානසාර හාමුදුරුවෝ අධිකරණය අමතනවා යැයි හෝමාගම පොලීසියේ නිලධාරියෙකු ප‍්‍රකාශ කරනවා ඇසුණා.එවිට මට හැඟුනා මේ ඥානසාර හිමියන් යැයි කියන්නේ බොදුබල සේවා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බව.ඔහු එදින අධිකරණ ශාලාවේ සිටිනු මා දුටුවා.

ඒ උස් හඬ ඇසෙනවාත් සමඟම මා නැවත අධිකරණ ශාලාවට ගියා.ඒ වනවිට භික්ෂූන්වහන්සේ නමක් විනිසුරු අසුන ඉදිරිපිට උස් හඬින් කතා කරමින් සිටියා.එදින භික්ෂූන්හන්සේලා 10 ක් 12ක් පමණ අධිකරණ ශාලවේ රැඳී සිටියා.මීට පෙරත් මෙම නඩුවට භික්ෂූන්වහන්සේලා මෙන්ම දේශපාලනඥයින් පැමිණියා.ඒ නඩුවට සම්බන්ධ වීමට නිතර මා සහ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා යන නිසා ඒ බව හොඳින්ම දන්නවා.“

“එදින උස් හඬින් කතා කරමින් සිටි ස්වාමීන්වහන්සේ මට හඳුනාගත හැකියි.උන්වහන්සේ ‘දේහධාරී හිමිනමක්‘ ඊයේ මෙන්ම අදත් උන්වහන්සේ මෙම අධිකරණ ශාලාවටත් පැමිණ සිටියා.මේ අවස්ථාව වන විටත් උන්වහන්සේ මෙහි සිටිනවා“ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස් මහතා ගෙන් වැඩිදුර සාක්කි විමසීම ලබන 26 වැනිදාට කල් තැබිණි.