අධිකරණයට අපහාස කළැයි රංජන්ට එරෙහි නඩුවේ දෙවැනි පැමිණිල්ල විභාගයට දිනයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) 

අධිකරණයට අපහාස කරන ලදැයි කියමින් මහා මාර්ග සහ මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය හා ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ දෙවැනි පැමිණිල්ල ලබන අපේ‍්‍රල් 03 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය.

මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධණ සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රිපුද්ල විනසුරු මඩුල්ල හමුවේ අද (02) මෙම පෙත්සම් සලකා බැලූ අතර එහිදී පැමිණිල්ල විභාගයට දින නියම කරන ලදී.

මෙම අධිකරණයට රංජන් රාමනායක මහත් අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා විසින්  මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.

ඉකුත් නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශකින් අධිකරණයට අපහාස කර ඇතැයි එම චෝදනා පත‍්‍රයේ සඳහන්ව ඇත.

චෝදනා පත‍්‍ර බාරදීමෙන් පසුව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ප‍්‍රශ්නගත ප‍්‍රකාශය වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් ඉන් අධිකරණයට යම් අපහසුවක් වී නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කිරීමට තම සේවාදායකයා සූදානම් බවයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පිළිබඳව රන්ජන් රාමනායක අමාත්‍යවරයා රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ අදහස් පළ කිරීමක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නිකුත් කළ නොතිසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ වී තිබේ.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාද , විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියහ.