අද තරග දෙකම තීරණාත්මකයි
විස්සයි-20 ලෝක කුසලාන තරාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරග දෙක අද (1 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. නවසීලන්තය සහ බටහිර ඉන්දීය පිල අතර තරගය පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත අතර ශී‍්‍ර ලංකාව සහ එංගලන්ත පිල අතර තරගය රාත‍්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතය. බොහෝ දේ රඳා පවතින්නේ කොදෙව් - නවසීලන්ත තරගයේ ප‍්‍රතිඵලය මතය.
ඒ අනුව ඇතිවිය හැකි ප‍්‍රතිඵල මෙසේයි.
1. කොදෙව් පිල විසින් නවසීලන්තය පරදවනු ලැබීමෙන් පසුව එංගලන්තයට එරෙහි තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලබාගතහොත් ශී‍්‍ර ලංකාව (ජය-3) සහ කොදෙව් පිල (ජය-2) අවසන් පූර්ව තරගයට පිවිසෙනු ඇත. නවසීලන්තය (ජය-1) සහ එංගලන්තය (ජය-1) තරගාවලියෙන් ඉවත් වනු ඇත.
2. කෙදෙව් පිල විසින් නවසීලන්තය පරාජය කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිල පරදවා එංගලන්තය ජයලැබුවහොත් ප‍්‍රසාද ලකුණු 4 ක් බැගින් හිමිකරගෙන සිටින ශී‍්‍ර ලංකාව (ජය-2), එංගලන්තය (ජය-2) සහ කොදෙව් (ජය-2) යන කණ්ඩායම් තුන අතුරින් ශුද්ධ ලකුණු වේගය මත කණ්ඩායම් දෙකක් අවසන් පූර්ව වටයට පිවිසෙයි.
3. යම් හෙයකින් සෑහෙන ලකුණු පරතරයකින් කොදෙව් පිල පරාජය කිරීමට නවසීලන්තය සමත් වෙද්දී ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ එංගලන්ත පිල පරාජය වුවහොත් ශී‍්‍ර ලංකා පිල (ජය-3) අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. එහෙත් ශුද්ධ ලකුණු වේගය මත අවසන් පූර්ව වටයට පිවිසීමේ සියුම් අවස්ථාවක් එංගලන්තය (ජය-1), නවසීලන්ත (ජය-1) සහ කොදෙව් (ජය-1) කණ්ඩායම් වලට ඉතිරි වේ.
4. අද තරගයේදී නවසීලන්ත පිල ජයගත්තද, ශී‍්‍ර ලංකා පිල පරදවා එංගලන්තය ජයගතහොත් ශී‍්‍ර ලංකාව (ජය-2) සහ එංගලන්තය (ජය-2) අවසන් පූර්ව වටයට පිවිසෙන අතර නවසීලන්තය (ජය-1) සහ කොදෙව් පිල (ජය-1) තරගාවලියෙන් ඉවත්ව යනු ඇත.

