(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවකට පහරදී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දස දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (03) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ අටුලුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකි.
සිංහල ජාතිකයෙකු හා විවහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් තමන්ගේ නිවසට කඩා වැඳී තමාට මෙන්ම මවට පහරදී දරු දෙදෙනා ද බියකර නිවසේ දේපල වලට අලාභ හානි සිදු කළැයි ඉකුත් මාර්තු මස 24 බණ්ඩාරගම අටුලුගම පදිංචි අබ්දුල් හසන් ෆාතිමා හයිෂා නැමැත්තිය බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් නිවසට කඩා වැඳී තිබූ බව බන්ඩාරගම පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙලි වූ බව බණ්ඩාරගම දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
එම සැකකරුවන් පිරිසෙන් 6 දෙනෙකු 2019.06.21 බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බණ්ඩාරගම පොලිසියෙන් ඉකුත් අගෝස්තු මස 02 වැනි දින ඉවත් කළ අධිකරණය එම විමර්ශන බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.
මේ අතර මෙම පැමිණිල්ලේ සාක්කි කරුවන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා මේ වන තුරුත් රිමාන්ඩ් බාරයේ පසුවන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

