අගුණකොළපැලැස්ස කමිටු වාර්තා සොයන්න රාජ්‍ය ඇමැතිගෙන් සහතිකයක්


(බිඟුන් මේනක ගමගේ)

අගුණකොළපැලැස්ස බන්ධනාගාර ප්‍රහාරයේ කමිටු වාර්තා යටගැසීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයාබලන්නේ යැයි මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය.

බන්ධනාගාරවල මූලික ප්‍රශ්න ගැන සොයාබැලීමක් කරන්නේ යැයි ද එහිදී අගුණුකොළපැලැස්ස සිදුවීම ගැන කඩිනම් මැදිහත්වීමක් කරන්නේ යැයි ද රාජ්‍ය ඇමැති සිල්වා මහතා කීය.

මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මේ බව පැවැසුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ප්‍රහාරය ගැන නව රජය සොයාබලන්නේදැයි කළ විමසීමට පිළිතුරු දෙමිනි.

අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේදී පසුගිය නොවැම්බර් 22 වැනිදා රිමාන්ඞ් සිරකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍යට කරුණු අනාවරණය කෙරුණේ මෙම වසරේ ජනවාරි 16 වැනිදාය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අනාවරණය කෙරුණු අතර හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ඒ ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටු දෙකක් පත්කළාය.

බන්ධනාගාර අධිකාරින්ගේ හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සාමාජිකත්වයෙන් වෙන වෙනම පත්කළ මෙම කමිටු දෙකෙන් වාර්තා සකස් කර හිටපු ඇමැතිවරියට බාරදුන්නද මාස දහයකට අධික කාලයක් ගතවීත් ඒවායේ නිර්දේශ ගැන හෙළිදරවු කෙරුණේ නැත. 

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමේදී අමාත්‍යාංශ නිලධාරිහු එවැනි වාර්තා සකස් කර නැතැයි මුලදී ප්‍රකාශ කළ අතර පසුව එම වාර්තා ලබාදීම ප්‍රතික්ෂේප කළහ.