(බිඟුන් මේනක ගමගේ)
ලියාපදිංචි කළ පක්ෂවලට අමතරව ලියාපදිංචි නොකළ පක්ෂ වර්ගීකරණයක් කරන්නැයි ජාතික හෙළ උරුමය ජාතික මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
ඇතැම් ලියාපදිංචි කළ පක්ෂ මැතිවරණ කොමිසමට වාර්ෂිකව ලබා දිය යුතු වාර්තාවත් ලබා නොදී වෙනත් වාසි ලබාගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන බැවින් මෙසේ ඉල්ලීමක් කළේ යැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑවක් ඇතත් ඒවායින් ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ දේශපාලන පක්ෂ දහයක් වැනි සුළු සංඛ්‍යාවක් යැයි වර්ණසිංහ මහතා කීය.
ලියාපදිංචි පක්ෂන්‍ලට අමතරව ලියාපදිංචි නොකළ පක්ෂ යනුවෙන් වූ නාමකරණයක් අසල්වැසි ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නේ යැයි ද හෙතෙම කීය.
ඇතැමුන් සිය දේශපාලන නිදහස හා ඡන්ද අයිතිය යැයි කියමින් දේශපාලන පක්ෂ නිර්මාණය කළත් ක්‍රියාකාරී නැති එවැනි පක්ෂ නිසා මැතිවරණවලදී විශාල මහජන මුදලක් නාස්ති වන්නේ යැයි වර්ණසිංහ මහතා චෝදනා කළේය.
සිය ඉල්ලීම මැතිවරණ කොමිසමේ සාකච්ඡාවට ලක් වී යැයි ද ඉදිරියේදී පක්ෂ වර්ගීකරණයක් කිරීම ගැන ද එහිදී මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී යැයි ද වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

