(විනීතා එම් ගමගේ)
විල්පත්තුව ආසන්න අක්කර 19675 ක් වනාන්තර හෙළි කරමින් ඉදිකිරිමට නියමිත පහළ මල්වතු ඔය ව්‍යාපාරයෙන් වගා කළ හැක්කේ අක්කර 2000ක් පමණක් යැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි.
එම ව්‍යාපාරය සඳහා පසුගිය දිනවල මුල් ගල් තබන විටත් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර නොතිබු බව මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (10) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.
වව්නියාවට එහා ඇති ගංවතුර අඩු කරන්නට මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව බලධාරින් පවසන බව කී කාරියවසම් මහතා විල්පත්තුව යනු මල්වතු ඔයේ පිටාර වතුර රැඳෙන ප‍්‍රදේශය වන අතර ඔයේ බැම්මක් බැඳීමෙන් විල්පත්තුවට පිටාර ජලය නොයන බැවින් එහි ජීවත්වන සතා සිව්පාවුන් මෙන්ම ගහ කොළට ද ජලය නැති වී යනු ඇතැයි ද පැවැසීය.
මෙම ව්‍යාපෘතිය 1960 දශකයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුව තිබුණත් උතුරේ පැවැති යුද වාතාවරණය නිසා එය පසුවී යැයි කී කාරියවසම් මහතා වාරිමාර්ග නීයෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවර මෙහි වැඩ ආරම්භ කිරීමට මුලිකත්වයදී ඇතැයි ද කීය.
''මේ ව්‍යාපාරය සඳහා යෝජනාව ආවේ 1960 දශකයේ දීයි. ජලාශයට යටවෙන ප‍්‍රදේශය අක්කර 17000 ක්. නැවත පදිංචි කිරීම සඳහා අක්කර 675 ක්. පළතුරු වගාව සඳහා අක්කර 2000 ක් වශයෙන් අක්කර 19675 ක් මේ වෙනුවෙන් යට කරනවා. නමුත් එයින් ජලය ලබා ගන්නේ අක්කර 2000 හි පළතුර වගාව සඳහාම පමණයි. මුතුලියකුළම්, සීනප්පුකුළම්, සරම්බිකුලම්, වැදිවැව, සහ විල්පත්තුවේ තවත් ප්‍රදේශ රාශියක් යට වෙනවා. නාග ගෝත‍්‍රිකයන් කුළු වැව් හැදු එල්ලංගා පද්ධතියක් සහිත මේ ප‍්‍රදේශය විනාශ කිරීම අපරාධයක්.
මේ තරම් විනාශකාරි ව්‍යාපෘතියක් සඳහා වුවත් මුල්ගල තබද්දිත් තක්සේරුවක් කර නැහැ. එහි අගැයීම ගැන අදහසක් නැහැ. වියදම ඩොලර් මිලියන 13000 ක්. එය එක්සිම් බැංකුවෙන් ණයක් ලෙස ලැබෙනවා. ඊළඟට චීන සමාගමක් ඇවිත් ඉදිකිරීම් කරනවා. අර ණය මුදල ඒ සමාගමට පඩි හැටියට ගෙවල අපි ණයත් ගෙවනවා. අක්කර 2000 ක ආර්ථික බෝගවලට ජලය ලබාගන්න ජලාශයක් හදන්නයි අක්කර 19000 ක කැලේ කපන්නේ. මේ අලි ජීවත් වෙන ප‍්‍රදේශයක්.
මේ විනාශයට අවශ්‍ය උදව් වන සංරක්ෂණයෙන් කරනවා. පරිසරය ගැන හිතා මේ අපරාධයට විරුද්ධ වන අයට ජාතිවාදින් කියනවා. මේ නිසා අපි සියලූ ජාතින් එක්ව මේ අපරාධයට විරුද්ධ විය යුතුයි. ජනාධිපතිවරයාට බල කළ යුතුයි මේ අපරාධය වළක්වන්න කියලා.’’

