19 න් පහළ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය අනිද්දා සිට


ශ‍්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය සංවිධානය කරන ‘නියෝ අභියෝග කුසලාන’ සමස්ත ලංකා පාසල් අත්පන්දු (හෑන්ඩ්බෝල්) තරගමාලාවේ වයස 19 න් පහළ තරගාවලිය අනිද්දා (1) ඇරැඹෙයි. තරගාවලිය නොවැම්බර් මස 3 වැනිදා දක්වා කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 22 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සහභාගිවේ. පසුගිය වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් පාසල් තුළ ආරම්භ කළ අත්පන්දු ක‍්‍රීඩාව මේ වන විට පාසල් 50 කට වැඩි සංඛ්‍යාවක ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය වසරේදී පළමු වරට පැවැත්විණ. පසුගිය වසරේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විදුහල දිනාගත් අතර ඞී.එස්. සේනානායක විදුහල අනුශූරතාව හිමිකර ගත්තේය. ගල්කිස්ස උසස් බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල පිළිවෙලින් බාලිකා ශූරතාව සහ අනුශූරතාව එවර දිනා ගත්තේය. පාසල් අත්පන්දු තරගමාලාවට අනුග‍්‍රහය දක්වන නියෝ හෝම්ස් සමාගම මෙම තරගාවලියට ද අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංචිතයට ඇතුළත් කර ගන්නා බව පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා පැවසීය.නියෝ හෝම්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී නීල් සුරවීර මහතා විසින් පාසල් අත්පන්දු සංගමයේ සභාපති හා ඞී. එස්. සේනානායක විදුහලේ විදුහල්පති ඞී. එම්. ඞී. දිසානායක මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා ද මෙහි සිටියි.