ශෝකාන්තයෙන් කෙළවර වෙන දේශපාලන බල පෙරළියක්


 

උදාවූ නොවැම්බර් මාසය ලංකාවට සහ ලෝකයට අධිසංවේදී කාල පරිච්ජේදයක ආරම්භය වන අතර ඇස්ට්‍රොලොජි හෙවත් තාරකා පුරෝකථන ක්‍රමවේදය අනුව ගත් විට ඔක්තෝබර් 30 දා සිදුවූ රාහු සහ කේතු ග්‍රහ මාරැව ඉතා වැදගත් අවස්ථාවකි.

 

ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් එම ග්‍රහ මාරැව අපට වඩාත් දුෂ්කර අවස්ථා නිර්මාණය කිරීමට මූලික වන අතර අනෙක් පසින් කාලගුණ විපත් වසංගත රෝග සහ මහජන කැළඹීම් උත්සන්න කෙරෙන බව තාරකා පුරෝකථනයන්හි නිගමනය වේ .ලෝක තත්ත්වය සම්බන්ධයෙන් ගත් කල ද පෙන්නුම් කෙරෙනුයේ වඩාත් අඳුරැ චිත්‍රයකි. විප්ලවකාරි සමාජ දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයන්ට විටින් විට ලක්වන ලංකා කේන්දරය අනුව ඔක්තෝබරයෙන් පසු අමුතු මාදිලියේ සිදුවීම් ගණනාවක් දිග හැරෙන රාහු කේතු ග්‍රහ මාරැවෙන් ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති කෙරෙන බලපෑම පිළිබඳ තාරකා පුරෝකථනයන්ට අනුව කළ විමසා බැලීමකි.

 

 

ග්‍රහයන් යනු දෙවියන් හෝ යක්ෂයන් හෝ නොවේ. කිසිදු ග්‍රහයකුට හොඳ හෝ නරක හෝ වශයෙන් මිනිසුන්ට විපාක දිය නොහැකියි. අප මේ ග්‍රහ තාරකා උපයෝගී කර ගනු ලබන්නේ අතීතය වර්තමානය සහ අනාගතය පිරික්සිය හැකි සංඥා දර්ශක (Indicators) වශයෙන්. ඒවායින් පෙන්නුම් කරනු ලබන චිත්‍රය අවශ්‍ය නම් ඊට උචිත උපාය මාර්ගයන් තුළින් වෙනස් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

අපට2019 සිට 2022 දක්වා මේ හැම අවස්ථාවකම රටට මොකද වෙන්නේ කියලා යම් යම් පුරෝකථනයන් කරන්න හැකියාව තිබුණා. 2023 වසරේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා සිදුවූ රාහු කේතු ග්‍රහ මාරැවෙන් වෙන බලපෑමේ පළමු කාර්තුව ගැන කතා කළොත් ලංකාවේ කේන්දරයේ කුම්භ ලග්නයට විශාල බලපෑම් ඇති කරනවා. මෙතනදි සිදුවන ප්‍රධානම දේ තමයි ලංකාවේ ආර්ථිකයට වදින වැදිල්ල නිසා බෙහෝ දුරට මිනිසුන්ව කුපිත කරවන පාරට බස්සන තීරණ ආණ්ඩුවෙන් ගැනෙනවා. මේවාට එරෙහිව මුලින්ම විරෝධතා ඇති වෙන්නේ නගරයට කලින් ගම්වලින්,

 

කෘෂි කර්මයට

 

ඉදිරි කාල සිමාව තුළ වැස්ස සහ පෑවිල්ල අතර සමබරතාවට හානි ගෙන දෙනවා. විශේෂයෙන් ගොවීන් බලාපොරොත්තු වෙන අස්වැන්න නොලැබී යනවා. ඒ වගේම ගොවිබිම් වසංගත රෝගයන්ට සහ නියඟ තත්වයන්ට ලක්වෙන්න පුළුවන්.

රාහු ග්‍රහයා මීන රාශියෙත්,කේතු ග්‍රහයා කන්‍යා රාශියෙත් ඉන්නකොට බොහෝ විට එන්නේ ගුප්ත රෝග. විශේෂයෙන් දිලීර වැනි රෝග තත්වයන් භවබෝගවලට වගේම මිනිස්සුන්ටත් ඇති වෙන්න පුළුවන්. මෙම රෝග තත්වයන් නිසා ගම් පිටින් පාළු වෙන්න පුළුවන් භයානක අනතුරැ තත්වයන් ද මෙහි බලපැවැත්වෙනවා. විශේෂයෙන් ජලයෙන්, පසෙන් බෝවන වසංගත රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා. ඒ වගේම කාලගුණය හොඳට තිබුණත් ගොවීන්ට අවශ්‍ය පොහොර බීජ ගොවීන්ට දෙන්න ආණ්ඩුව අසමත් වෙනවා. ඒ නිසා ඊළඟ කැරුල්ල එන්නේ නගරයෙන් නෙමෙයි ගමෙන්. ඒ වගේම රටට වැදගත් අනාගත පරපුරට ඉතිරි වෙලා තිබුණ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් (ඉඩම්) විදේශියන්ට කුණු කොල්ලයට විකුණන්න පෙලඹෙනවා.ඊට අමතරව රටට ඉතා අවාසිදායක ආන්දෝලනාත්මක විදේශ ගිවිසුම් ගණනාවකට යටත් වීමට සිදුවෙනවා.

 

දේශපාලනය

 

රාහු විසින් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඇති කරනු ලබන බලපෑම ගැන කතා කරනවා නම්,

රටේ ලග්නයෙන් දෙවැන්න තුළින් ජාතික ආර්ථිකය මෙන්ම රට කරවන අයගේ ජාතික සහ අන්තර්ජාතික ප්‍රකාශ පිළිබඳව දැඩි බලපෑමක් ඇති කරවනවා. බොහෝ විට රාහු විසින් දරැණු ගණයේ කට වරද්දා ගැනීම් සඳහා පාලකයන් පොලඹවනු ලබනවා.ඊට අමතරව බොරැ කේළාම්, කෙටවීම්, පාවාදීම් දරැණු නින්දා කිරීම් සහ ව්‍යාජ ලිපි ලේඛන නිර්මාණය කිරීම් ඔක්තෝබර් 30 දා සිට ලබන මැයි මාසය දක්වා වසංගතයක් මෙන් පැතිරෙන්න පුළුවන්. එමෙන්ම හොර ඔප්පු සහ ව්‍යාජ මුදල් නෝට්ටු යනාදියෙන් සියලු දෙනා පරෙස්සම් විය යුතු වෙනවා. කෙසේ නමුත් මෙතෙක් පැවති පාලන ක්‍රමය යළිත් කිසි විටෙක හිස එසවීමක් හෝ එකී පැරණි දේශපාලන ලෝකයට අයත් එකම නායකයකු හෝ නැවත බලවත් වන්නේ නැහැ. එමෙන්ම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල අනාගතය බෙහෙවින් අඳුරැ වෙනවා. කිසි පාලන ක්‍රමයක් ඔක්තෝබර් මස 30 වෙනිදා දක්වා බලයේ සිටියා නම් එතනින් එහාට දීර්ඝකාලීන පැවැත්මක් හැටියට පවතින්නේ නැහැ. මෙතෙක් පැවති බල මූලාශයන් වෙනත් පැත්තකට හැරෙනවා.ඒ බල මූලාශ්‍රයත් එක්ක බැඳුනු යම් පැලැන්තියක් හිටියානම් ඔවුන්ට පෝෂණය සහ බලය ලැබෙන්නේ නැහැ. 2005 වසරේ ඉඳලා මේ දක්වා ලංකාවේ දේශපාලන කරළියේ හිටපු පාලක පරම්පරාව (දේශපාලන පවුල් වෙන්න පුළුවන්,යම් දේශපාලන චරිත වෙන්න පුළුවන්) ඒ අය දේශපාලන කරළියෙන් ඉවතට විසිවෙලා යනවා. බොහෝ දේශපාලන ජ්‍යෙෂ්ඨයන්ගේ අවසන් කාලය තමයි මේ ගතවෙන්නේ.

නිසැක වශයෙන්ම මේ ලබන්නේ ලංකා බල දේශපාලනයේ විප්ලවකාරී පෙරළිකාරී කාලපරිච්ඡේදයක ආරම්භය. 2024 අප්‍රේල් සහ මැයි මාසය දක්වා කාලය ඉතාම තීරණාත්මක කාලයක්. කෙසේ නමුත් ආණ්ඩුවෙන් පිටත සිටින දේශපාලන පක්ෂ සහ සංවිධාන වෙන් වෙන් වශයෙන් වුවත් දැවැන්ත බලවේගයක් ලෙස හිස ඔසවනු ලබන බව පෙන්නුම් කරනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තර විනය පාලනය ගිලිහීමට ලක්වෙනවා. බලය හොබවන අය අතරේ අභ්‍යන්තර වශයෙන් ලොකු පිපිරීම් කල්ලි ගැසීම් වැනි දේවල් සිදුවෙනවා. ඒ වගේම ලංකාවේ පාලකයන් වෙනත් විදේශිය රටවල් එක්ක අත්සන් කරපු රාජ්‍යත්‍රාන්තික ගිවිසුම් මත භේදයන්ට ලක්වීම වැනි සිදුවීම් සිදුවෙන්න පුළුවන්.

 

මේ වෙලාවේ ලංකා කේන්දරයේ ලග්නය වෙන්නේ කුම්භ. එහි දෙවැන්නේ රාහු ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා. අට වැන්නේ කේතු ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා.මේ ස්ථාන දෙක ලංකාවේ දස වැන්නට සම්බන්ධ වෙනවා. ලංකා කේන්දරයේ 5 සහ 8 වැන්නේ සම්බන්ධයක් පවතිනවා. බුද ග්‍රහයාට අයිති නක්ෂත්‍රයක තමයි රාහු ග්‍රහයාගේ ගමන සිදු වෙන්නේ . පස් වැන්නෙන් පෙන්වන්නේ 8 වැන්නේ විනාශය. පවතින බල ධුරාවලියක විනාශයක් තමයි එතනින් පෙන්වන්නේ. 8 වැන්නෙන් පෙන්වන්නේ අලුත් බලවේගයක පිබිදීමක්. මෙතනදි කේතු ග්‍රහයාගේ විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි ලංකා කේන්දරයේ හයවැන්නාදිපතියා පීඩිත පන්තිය කම්කරැවන් බලවත් වෙන කාලයක්. ඒ වගේම විපක්ෂ බලවේග පැහැදිලි වර්ධනය වීමක්. ජවසම්පන්න පිබිදීමක් හැටියට ඔක්තොබර් 30 න් පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙළගැසීම් සිදු වෙනන් පුළුවන්. ඊළඟ යුගයක වෙනස් කරන්නේ තුවක්කුවෙන්, නැත්නම් පාරට බැහැලා කරන දඩිබිඩි විප්ලවවලින් කලබල වලින් නෙමෙයි .පාලන බලය වෙනස් වෙන්නේ බුද්ධිමය අතින් කෙරෙන විප්ලවයක් විදිහට. ඒ බුද්ධිමය විප්ලවයත් එක්ක සාමූහික ජනවිඥානයක් සකස් වෙනවා. කෙසේ නමුත් ඔක්තොබර් 30 වෙනිදා සිට 2024 අප්‍රේල් , මැයි වෙන තෙක්ම හැම විටම එකකට එකක් පරස්පර විරෝධී ප්‍රවෘත්ති අහන්න පුළුවන්. හිතා ගන්න බැරි විදිහේ පාවාදීම්, සන්ධාන ගතවීම් රාශියක් ඇතිවෙන්න පුළුවන්. මේ සිදුවන්න යන වෙනස කාටවත් වළක්වන්න බැහැ. කොහොම නමුත් මෙතෙක් පැවති බල පාලන ක්‍රමය අවසන් වීම නම් මේ මාසේ 30 සිටම ආරම්භ වෙනවා.

 

දැනට මෙරට දේශපාලන කරළියේ පවතින දේශපාලන පක්ෂ සහ සංධාන කැඩී බිඳී සීසීකඩ යන අතර 2024 අප්‍රේල් අග දක්වා ව්‍යාකූල සහ තරමක අරාජික දේශපාලන වාතාවරණයක් නිර්මාණය විය හැකියි. 2024 අප්‍රේල් මාසයෙන් පසු නිල හෝ නොනිල මට්ටමින් විවිධ පුද්ගලයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ නිකුත් කරන මුත් ඔවුනට මේ ප්‍රධාන කඳවුරැ තුනෙන් එකකට එකතු වීමට හෝ නැතිනම් තමන්ගේ සිත් වෙනස් කර ගැනීමට සිදුවනු ඇත. මන්ද රාහු 02 වැන්නේ සහ කේතු 08 වැන්නේ සිටින විට ජය ලබන කවුරැන් නමුත් ඉතා අසීරැ සහ සුළු පරතරයක් සහිතව පැහැදිලි ජයග්‍රහණයක් ලැබීමේ හැකියාව පවතිනවා .එසේම එය ආශ්චර්යයක් බඳු අසාමාන්‍ය ජයග්‍රහණයක් වීමටත් වැඩි ඉඩක් පවතිනවා .එය ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ වේවා ප්‍රතිඵලය පුදුම උපදවනසුලු ආකාරයේ සිදුවීමක් වන්න පුළුවන්.

 

ආර්ථිකය


ලංකා කේන්දරයේ 02 වැන්නට පිවිසෙන රාහු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි අධික නාස්තිකාර වියදම් රටාවක් නිර්මාණය කරන අතර මහ පරිමාණ වංචා දූෂණ හට ගැනීමේ ඉඩ ප්‍රස්ථා දෙගුණ තෙගුණ කරනවා .ඒ වගේම සොබාවික විපත් හේතු කොට ගෙන රටේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක් වෙනවා. අවාසිදායක විදේශ ගිවිසුම් වලින් එදාවේල පිරිමසා ගැනීමටවත් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් හිමි වන්නේ නැහැ .මෙසේ ගත් විට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පෙන්නුම් කරන චිත්‍රය ඉතාම අඳුරැයි.ජනී ජනයාට සාමාන්‍ය ජන ජීවිතයක් පවත්වා ගෙන යාමට නොහැකි වෙන ආකාරයේ ප්‍රශ්න මතු වන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ විපත වෙනස් කිරීමට ද හැකියාව තියෙනවා .එය කළ හැක්කේ ඉවසිලිමත් ප්‍රඥාව මුල් කොට ගත් ප්‍රවේශයක් තුළින් පමණයි. රාහු ග්‍රහයා ගෙන් සංකේතවත් වන්නේ අදූරදර්ශී අනුවණකම බඩජාරිකම උද්ධච්ච අහංකාරය සහ ඇබ්බැහිවීමයි. එකී නුහුගුණ වෙනුවට සිහි නුවණින් යුතු ප්‍රවේශයක් ගතහොත් අපට මේ විනාශයෙන් ගැලවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මහජනයා මේ කාලය ඉවසීමෙන් සාවදානව කටයුතු කිරීම කළයුතු වෙනවා.
 

සූරිය පිරිතේ නිධාන කතාව පිරික්සා බලන්න.රාහු නම් අසුරේන්ද්‍රයා තමා ගිල දැමීමට සූදානමින් සිටින බව දැන ගත් සූර්‍ය දිව්‍ය රාජයා බුදුන් වහන්සේගේ පිළිසරණ පැතුවේලු. එවිට ඒ විනාශයෙන් ගැලවීම පිණිස උන් වහන්සේ විසින් ලබා දුන් පිරිත් සූත්‍රය සූරිය පිරිත ලෙස ප්‍රකට වූ බැව් නිධාන කතාවේ සඳහන් වෙනවා. මා මේ කතා පුවත කියවා ගන්නට කැමති වන්නේ දේව කතාවක් ලෙස නොව ඉතා සියුම් සහ සංකීර්ණ ඉගැන්වීමක් වශයෙන්. සූර්‍ය දිව්‍ය රාජයා හෙවත් හිරැගේ ආලෝකයෙන් සංකේතවත් වන්නේ විශ්වීය ප්‍රඥාවයි. රාහුගෙන් සංකේතවත් වන්නේ මෝහාන්ධකාරය යි. යම් හෙයකින් හිරැ රාහුට පැරදුණේ නම් ප්‍රඥාව යටපත්ව මෝහය විශ්වය පුරා රජ කරනු ලබනවා.මේ කියන හිරැ සහ රාහු යන දෙදෙනා ම ජීවත්වන්නේ අන් කොහේවත් නොව අපේ චිත්ත සන්තානයේ . එසේ නම් පාලක පැළැන්තියට ප්‍රඥාව පහළ වන්නේ නම් මේ විනාශයෙන් ගැලවෙන්නට අපට පහසු වෙනවා.

 

කාලගුණය

 

නොවැම්බර් 1 වෙනිදා සිට 6 වෙනිදා දක්වා ලංකාවේ බොහෝ පළාත්වලට උණුසුම් වියළි කාලගුණයක් පවතිනවා. නොවැම්බර් 7 වෙනිදා සිට නැවතත් වැසි රටාවක් සක්‍රිය වෙන්න පුළුවන්. මොණරාගල, අම්පාර ,මඩකලපුව,මහනුවර,නුවරඑළිය ,මාතලේ, පොළොන්නරැව ,පුත්තලම ,වව්නියාව,කුරැණෑගල ,බදුල්ල, වැඩිපුරම වැසි අපේක්ෂා කරන්න පුළුවන්. නොවැම්බර් 10- සිට 15 ඉඳලා වැසි තත්වය වැඩි වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම නොවැම්බර් 16 වෙනිදා වැසි තත්වය මහාපරිමාණයෙන් ඇති වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ඉහත නම් කළ දිස්ත්‍රික්ක ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්වයන්,නායයාම් වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. නොවැම්බර් 27 වෙනිදායින් පසු වර්ෂාපතනය ටිකෙන් ටික අඩු වීමක් දකින්න පුළුවන්. රටක ඉතිහාසයේ දෛවය තීරණය වන්නේ පුද්ගලයා මත නොව තත්කාලීනව නිර්මාණය වන සාමූහික ජන විඥානයට උවමනා හැටියට බව ඉතිහාසය විසින් ම ඔප්පු කර තිබේ. කෙසේ නමුත් ඇතැම් දේ සාකච්ඡා කිරීම සඳහා නිසි කාලය තවම උදාවී නැත.

 

 

අදහස්- කේ.සී.ජේ රත්නායක

සටහන - නදීශා අතුකෝරළ